ඉස්ලාම් දහමින් පොළිය තහනම් කරන්නේ ඇයි? (Why does Islam forbid interest?)


පොළිය යනු ණයට දෙන ලද හෝ නයට ගත් මුදලක් සඳහා මුල් මුදලට වඩා වැඩියෙන් ගෙවනු ලබන ගාස්තුව වේ. බොහෝ විට පොළිය වාර්ෂිකව ගණන් බලා මුදල් ලබා දුන් ආයතනයට හෝ එය ලබා දුන් පුද්ගලයා වෙත කලින් ගිවිස ගත් පරිදි ගෙවිය යුතුය. ණය ලබා ගත් තැනැත්තා යම් හේතුවක් නිසා නියමිත දිනයේදී ඔහු පොරොන්දු වූ පරිදි පොළිය නොගෙව්වේ නම් එම පොලිය මත තවත් පොළිය එකතු කරනු ලැබේ. මේ හේතුවෙන් පොළියට මුදල් ගත් තැනැත්තා කබලින් ලිපට වැටුනා සේ තවත් අසරණ වේ. ඔහුට පොරොන්දු වූ පරිදි ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට ඔහු විසින්  ඇපයට තැබූ දේවල් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල අයකර ගනු ලැබේ. මේ හේතුවන් බොහෝ අයගේ නිවාස අහිමි වූ අවස්ථාවන් තිබේ. මේවා සැලකිල්ලට ගනිමින් ඉස්ලාම් දහම පොළීය සම්පුර්ණයෙන්ම තහනම් කොට තිබේ. පහත දැක්වෙන්නේ පොළිය සම්බන්දයෙන් වූ එක් කුර්ආන් වැකියකි.
 
"විශ්වාසකලවුනි! නුඹලා අල්ලාහ්ට බිය වන්න. නුඹලා විශ්වාසවන්තයින් නම්, පොලියෙහි ඉතිරිව තිබෙන දේ හැර දමන්න. නුඹලා (එසේ) නොකළේ නම් අල්ලාහ්ගෙන්ද, ඔහුගේ දුතයාගේන්ද යුද්ධ ප්‍රකාශ කර ඇති බව දැනගන්න. නුඹලා (පොලිය අතහැර අල්ලාහ්ගෙන් ක්ෂමාව ඉල්ලා) මිඳුණු විට නුඹලාගේ සම්පතෙහි මුල් මුදල නුඹලාට හිමිවේ. (මෙමගින්) නුඹලා අපරාධ කරන්නේද; අපරාධ කරනු ලබන්නේද නැත. (ණය වූ) ඔහු දුෂ්කරතා ඇත්තෙකු නම් පහසුකම් ඇතිවන තෙක් අවස්තාව දිය යුතුය. නුඹලා මේගැන දැනගන්නේ නම් එය සදකාවක් ලෙස අතහැර දැමීම නුඹලාට වඩාත් යහපතක් ම වේ" (කුරානය 2:278-280).
 
පොලිය පිලිබඳ තහනම ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති අනෙක් නියෝගවලට වඩා දරුණු වේ. ඇයිද යත් පොළිය පිළිබඳ ගනු දෙනු අත් නොහරින්නේ නම් අල්ලාහ් සහ ඔහුගේ දුතයා සමග යුද්ධයට සුදානම් විය යුතු බව ප්‍රකාශ කොට ඇති බැවිනි. මෙම අවවාදයන් නොතකා පොළියට අත තැබූ බොහෝ අය ඉතා අසරණ භාවයට පත්ව තිබේ. ඇතැම් අයගේ උන් හිටි තැන් පවා අහිමිවී  ගොස් තිබේ.
 
ඇතැම් අය සිතාගෙන ඉන්නේ පොළිය වෙළඳාමට සමාන බවයි. එහෙත් එහි කිසිඳු සත්‍යතාවයක් නැත. වෙළඳාම බංකලොත් වුවත් කිසිවෙකුගේ ගෙවල් දොරවල් අහිමි වන්නේ නැත. එහෙත් පොළිය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ගෙවල් දොරවල් පමණක් නොව ඉඩකඩම් පවා නැති වන්නේය. මේ නිසා වෙළඳාම පොළියට සමාන කළ නොහැකිය. 

පොළිය තම අදායම් මාර්ගය කර ගත් අය විනිශ්චය දිනයේදී සාතන් ස්පර්ශ කරන ලද කෙනෙකු මෙන් මිස නැගිටින්නේ නැති බව කුරානය පවසයි.
 
"පොලිය අනුභව කරන්නෝ සානත් විසින් ස්පර්ශ කරනු ලැබූ උමතුවෙකු මෙන් මිස (මරණයෙන් පසු එලොවේදී) නොනැගිටින්නෝය. වෙළඳාම පොලියට සමකිරිම මෙයට හේතුවයි. එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කළේය. කවරෙකු තම සමිඳුන්ගෙන් උපදෙස් ලැබුණු පසු පොලිය හැර දමයිද ඔහු කලින් ගත් දෙයට දඬුවම් කරනු නොලැබේ. ඔහුගේ කාර්යය අල්ලාහ් වෙතම ඇත. කව්රුන් (පොලිය දෙසට) හැරෙන්නේද ඔවුහු නිරා වැසියෝ වෙති. ඔවුහු එහි සදාකල් සිටින්නෝය" (කුරානය 2:275).
 
වෙළඳාමේ දී මෙන් නොව පොලිය නිසා භාණ්ඩවල මිල අනිසිලෙස ඉහල යන්නේය. මේ හේතුවෙන් නබිතුමා යම් භාණ්ඩයක් මිලදී ගත් තැනැත්තාට එය තමන් සන්තකයට ගෙනෙන තුරු විකිණීම තහනම් කළේය. එසේ නොවන විට භාණ්ඩය වෙනුවට මුදල් මත මුදල් විකිණීමක් සිදු වේ. උදාහරණයක් ලෙස යම් කෙනෙකු සතු හාල් තොගයක් තවත් කෙනෙකු විසින් මිලට ගෙන එය එම ස්ථානයේ තිබියදීම තවත් කෙනෙකුට අළෙවි කළා යැයි සිතමු. ඔහු එය තමන් සන්තකයට නොගෙන තවත් කෙනෙකුට අලෙවි කළා යැයි සිතමු. මෙම ක්‍රමයෙන් සිදු වන්නේ එම භාණ්ඩය මුල් ස්ථානයේ තිබියදීම අහේතුකව එහි මිළ ඉහළ යෑම පමණි. තවත් අතකින් බලන විට එම භාණ්ඩය හේතුවක් කර ගෙන මුදලට මුදල් විකිණීමක් මෙහිදී සිදු වී තිබේ. එහි අවසාන ප්‍රතිපලය ලෙස එම භාණ්ඩයේ මිල ඉහළ ගොස් තිබේ.
 
ඉස්ලාම් දහමට අනුව පොලියට දීම, පොලියට ගැනීම, ඊට සාක්ෂි දීම සහ ඒවා සටහන් කිරීම ආදී සියළුම දේවල් තහනම් වේ. නබිතුමාගේ මෙම හදිසය තුල ඒ බව සඳහන් වේ. "පොලී ගත් තැනැත්තාටත් එය ගෙවූ තැනැත්තාටත් ඒ වෙනුවෙන් සාක්‍ෂි දුන් දෙදෙනාටත් ශාප වේ, තවද ඔවුන් සියල්ලෝම පවින් එක සමානය" දැනුම් දෙන්නේ ජාබීර් රලි තුමාය.
 
ධනවත් රටවල් විසින් දිළිඳු රටවල් වලට ප්‍රධානය කරනු ලබන ණය බර නිසා බොහෝ දිළිඳු රටවල් සදාකාලිකවම ණය බරින් මිරිකී සිටින්නේය. තවද දුප්පත් රටවල්වල ජාතික අදායමින් විශාල ප්‍රතිශතයක් වෙන් වන්නේ ඔවුන් ලබා ගත් මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහාය. මේ හේතුවෙන් දුප්පත් රටවල් සදාකාලිකවම ආර්ථික අපහසුතා මැද සිරවී සිටින්නේය. ලෝකයේ ඇති ධනවත් රටවල්වලින් 10% ක් සමස්ත ලෝක සම්පත් වලින් 80% කටම හිමිකම් කියන්නේ දුප්පත් රටවල් වලට පොලියට මුදල් ලබා දීම හරහාය. අද ඇතැම් ධනවත් රටවල් විසින් යුද්ධ නොකරම ඇතැම් දිළිඳු රටවල් වලට ආක්‍රමණය කොට තිබේ.  මේ සඳහා ඔවුන් භාවිතා කරන අලුත්ම උපක්ක්‍රමය වන්නේ දුප්පත් රටවල් වලට විශාල ලෙස ණය දීමයි.
 
By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.Japura,

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)