ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Prayer, the second pillar of Islam)
සලාතය යනු මිනිසා සහ තම මැවුම්කරු වන අල්ලාහ් සමග ඇතිකරගනු ලබන බන්දනයකි. මේ නිසා තම මැවුම්කරු අල්ලාහ් බව විශ්වාස කරන සෑම කෙනෙකුම අනිවාර්යයෙන්ම සලාතය ඉටු කල යුතුය. අල්ලාහ්ව විශ්වාස කරන බව පවසමින් සලාතය ඉටු නොකරන තැනැත්තා ඉස්ලාම් බක්තිකයෙකු නොවන බව බොහෝ විද්වතුන්ගේ මතය වේ. මේ නිසා සිකුරාදා පමණක් සලාතය ඉටු නොකර දෛනිකව පස් වතාවක් සලාතය ඉටු කිරීමට වග බලාගත යුතුය. සලාතය ඉටු නොකරන තැනැත්තාට කොතරම් වස්තුව තිබුනත් ජිවිතයේ සැනසීමක් ලැබෙන්නේ නැත.
සලාතය හැර ඉස්ලාමයේ ඇති අනෙකුත් වගකීම් නබිතුමාට පවරනු ලැබුවේ ජිබ්‍රිල් නමැති දේවදුතයා ගෙනෙන ලද පණිවිඩ මගිනි. එහෙත් සලාතය පිලිබඳ වගකීම නබිතුමාට පවරනු ලැබුවේ මිහ්රාජ් ගමනේදීය. එමගින් පැහැදිලි වන්නේ සලාතය අනෙකුත් වගකීම් වලට වඩා වැදගත් තැනක් උසුලන බවයි.
සලාතය හැර අනෙක් වගකීම් වන උපවාසය, සකාත්, හජ් වැනි වගකීම් සඳහා ඇතැම් ලිහිල් කිරීම් තිබේ. විශේෂයෙන්ම සකාත් සහ හජ් වගකීම පැවරෙන්නේ ධනවතුන් සඳහා ය. එහෙත් සලාතය නිරෝගී කෙනෙක් මෙන්ම රෝගී නෙකේ ද නිවසේදී මෙන්ම ගමනක දී ද ඉටු කළ යුතුය. තවද සලාතය සිටගෙන ඉටුකළ නොහැකි අය වාඩිගෙන එය ඉටු කල යුතුය. වාඩිගෙන ඉටු කල නොහැකි අය හාන්සිවිගෙන හෝ එය ඉටු කල යුතුය.
අල්ලාහ් වඩාත්ම ප්‍රිය කරන ක්‍රියාව කුමක්දැයි ඉබ්නු මසුද් රලි තුමා නබිතුමාගෙන් විමසු කල ඔහු පවසා ඇත්තේ සලාතය ඊට නියමිත වෙලාවේදී ඉටු කිරීම බවයි (බුහාරි, මුස්ලිම්). එසේම බුරෛදා රලි තුමා නබිතුමා පැවසූ හදිසයක් මෙසේ දැනුම් දෙන්නේය. "අපටත් ඔවුන්ටත් (ඉස්ලාම් නොවන අයටත්) අතර වෙනස සලාතය යි. එය පැහැර හරින්නා නියත වශයෙන්ම ආගමක් නොඅදහන්නෙක් වේ" (අහමඩ්, තිර්මිසි, නසායි, ඉබ්නු මාජා, උපුටාගැනීම මිශ්කාත්).
යම් කෙසිවෙකු සලාතය නිසි ලෙස ඉටු කිරීම නිසා ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරනු ලැබූ සුළු පව් වලට සමාව ලැබේ. තවද අබු හුරෛරා රලි තුමා වාර්තා කරන හදිසයක දැක්වෙන්නේ දෛනිකව සිදු කරනු ලබන පස්වේලා සලතය නිසාද එක් ජුම්මා සලාතයක සිට තවත් ජුම්මා සලාතයක් දක්වාද එක් උපවාස මාසයක සිට තවත් උපවාස මාසයක් දක්වාද අතර තුර කාලයේදී සිදුවන වැරදි වලට සමාව ලැබෙන බවයි. මේ සඳහා කොන්දේසියක් වන්නේ මහා පාපයන්ගෙන් වැලකි සිටීම වේ (සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්).
මිනිසාගේ දියුණුව රඳා පවතින්නේ අල්ලාහ් සමග පවතින බැඳීම මතය. උදාහරණයක් වශයෙන් නිවසක ඇති ප්‍රධාන විදුලි ෆියුසය පෙන්වා දිය හැකිය. යම් විදියකින් එය පිලිස්සී ගියහොත් නිවසටම විදුලිය ලැබෙන්නේ නැත. ප්‍රධාන විදුලි සැපයුම විසන්දි වුයේ නම් නිවසේ මොන තරම් විදුලි උපකරණ තිබුනත් ඒවා ක්‍රියා කරන්නේ නැත. මේ අකාරයටම අල්ලාහ්ව විශ්වාස නොකරන තැනැත්තා මොනතරම් කුසල් කරත් ඒවාට කුලිය ලැබෙන්නේ නැත.
මුස්ලිම්වරයෙකු මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයකදී සලාතය මගින් අල්ලාහ්ගේන් උදව් පැතිය යුතුය. කුරානය මෙසේ පවසයි. "ඉවසීමෙන් ද සලාතය ඉටු කිරීමෙන් ද (අල්ලාහ්ගෙන්) උදව් පතන්න. නියතවශයෙන්ම එය අල්ලාහ් කෙරෙහි සත්‍ය විශ්වාස තැබූ අයට හැර අනෙක් අයට බරක් වේ" (කුරානය 2:45).
ස්වර්ගය බලාපොරොත්තු වන සියලුම දෙනා සලාතය නිසි පරිදි ඉටු කිරීමට බග බලාගත යුතුය. ඇයිද යත් ස්වර්ගයේ යතුර සලාතය බව නබිතුමා අවධාරණය කල නිසාය.
යම් කෙනෙක් දෛනිකව පස් වතාවක් සලාතය ඉටු කිරීම නිසා අල්ලාහ් පිලිබඳ විශ්වාසය ප්‍රකුර්තිමත් වේ. මුස්ලිම්වරයෙක් සලාතය ඉටු කිරීම විදුලි කෝෂයක් දිනකට පස් වතාවක් ආරෝපණය කිරීමට උපමා කල හැකිය.
මිනිසාට අල්ලාහ්ගෙන් ලැබී ඇති ආනිසංස අප්‍රමාණය. උදාහරණයක් ලෙස අපට ලැබී ඇති ඇස් දෙකේ වටිනාකම මුදලින් තක්සේරු කල නොහැකිය. අනෙකුත් අවයව ගැනත් එසේමය. එසේ තිබියදී එක් සලතයක් වෙනුවෙන් විනාඩි කිහිපයක් වැයකිරීම කිසිසේත්ම පාඩුවක් නොවේ.
සලාතය ඉටු කිරීම සඳහා වුළු කිරීම අනිවාර්ය වේ. වුළු නොමැතිව සලාතයක් නැත. තවද සලාතය පුර්ණ වීම සඳහා එහි ඉරියව් නිසි පරිදි ඉටු විය යුතුය. ඇයිද යත් සලතය ඉටු කරමින් සිටි සහාබි වරයෙකුගේ ඉරියව් නිසි ලෙස ඉටු නොවීම නිසා නැවත එම සලාතය කරන ලෙස නබිතුමා අණ කොට තිබේ. සලාතයේ ඇති වැදගත්ම කරුණ වන්නේ නමදින තැනැත්තා අල්ලාහ්ව බලා සිටින හැඟීමෙන් එය ඉටු කිරීම යි. එසේ කල නොහැකි නම් අල්ලාහ් අපව බලා සිටින හැඟීමෙන් සලාතය ඉටු කල යුතුය.
By Fasy Ajward.B.Sc (PhysicsSpecial) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment