ඔබගේ අවශ්‍යතා අල්ලාහ්ගෙන් ඉල්ලන්න (Ask Allah for your needs)


මිනිසා මොනතරම් ස්වාදීන යැයි සිතුවත් ඔහු අන්ත අසරණ තත්වයට පත්වූ අවස්ථාවකදී පිහිට වීමට සිටින්නේ අල්ලාහ් පමණි. ඇයිද යත් අල්ලාහ් මිනිසාගේ මැවුම්කරු ය. ඒ අනුව මිනිසා අල්ලාහ් කෙරෙහි අචල විශ්වාසයෙන් යුතුව යමක් අයද සිටියේ නම් ඔහුට එය ලබා නොදී හරින්නේ නැත. සත්‍ය වශයෙන්ම අල්ලාහ් හැර මිනිසාගේ අවශ්‍යතා ඉටු කිරීමට වෙනත් දෙවි කෙනෙකු නැත. විශේෂයෙන්ම අසාධාරණයට ලක් වූ අයගේ කන්නලව්වලට අල්ලාහ් පිළිතුරු ලබා දෙන්නේය. එය මිනිසාට පමණක් නොව සතුන්ට පවා එකසේ බල පාන්නේය.
 
කෙසේ වෙතත් යම් කිසිවෙකු අල්ලාහ් තම ප්‍රාර්ථනාව ඉටු කරයිදෝ යන සැකයෙන් සිටින්නේ නම් ඔහුගේ ප්‍රාර්ථනයන් ඉටු කරන්නේ නැත. එපමණක් නොව අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීමද ප්‍රාර්ථනයන් ඉටු නොවීමට එක් හේතුවකි. මේ නිසා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමේදී සාස්තෘ වරුන්ව අතර මැදියන් ලෙස පත් කර ගැනීම හෝ වෙනත් පිළිම වලින් උදව් පැතීම කිසිසේත්ම නොකළ යුතුය.  
 
අල් කුරානයේ මෙසේ සඳහන් කොට ඇත. "මාව (අල්ලාහ්ව) අමතන්න, මම නුඹලාට පිළිතුරු දෙන්නෙමි. කවරහු මට නැමදුම් කිරීමෙන් ඈත්වී අහංකාරකම් පෙන්වන්නේද, ඔවුහු නින්දාවට පත්වූවන් ලෙස නිරයට ඇතුලුවන්නෝයැ'යි නුඹලාගේ සමිඳුන් පවසයි" (කුරානය 40:60).

යම් කිසිවෙකු අචල විශ්වාසයෙන් යුතුව අල්ලාහ්ගෙන් කරන ප්‍රාර්ථනයන් ඉටු වීම නිසැකය. කෙසේ වෙතත් අප නොදන්නා හේතුන් නිසා එම ප්‍රාර්ථනයන් එවෙලේම ඉටු නොවිය හැකිය. ඇතැම් ප්‍රාර්ථනයන් මෙලොවදී  ඉටු නොවී මරණයෙන් පසු ඊට සරිලන කුලිය ලෙස වෙනත් දේවල් ලැබිය හැකිය. එවිට ඔහු මෙලොවදී සිදු කල කිසිම ප්‍රාර්ථනයක් ඉටු නොවී තිබුනේ නම් කොපමණ හොඳ දැයි කල්පනා කරනු ඇත. 
 
කෙනෙකුගේ ප්‍රාර්ථනයන් ඉටු වීම සඳහා ඔහුගේ චේතනාව ඉතා වැදගත් වේ. ඒ අනුව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන විට එය ඉටු වේවී යන පරම විශ්වාස ඔහු සතුව තිබිය යුතුය. මේ සඳහා හොඳ උදාහරණයක් ලෙස නබි සැzකරියා තුමා කල ප්‍රාර්ථනය පෙන්වා දිය හැකිය. එතුමා ඉතාමත් මහළු වියට පත් වූ පසු දරුවෙක් ලබා දෙන මෙන් අල්ලාහ්ගෙන් ප්‍රර්ථනා කොට තිබේ. ඊට හේතුව අල්ලාහ්ට එය කල හැකි බව ඔහු ස්ථිරවම විශ්වාස කල නිසාය. අසුවන වියට පා තබා සිටි එතුමාගේ ප්‍රාර්ථනාව අල්ලාහ්, සපල කරමින් ඔහුට දරුවෙකු ලබා දුන්නේය. ඇත්ත වශයෙන්ම දුආ ප්‍රාර්ථනයන් නිසා කෙනෙකුගේ දෛවය පවා වෙනස් කල හැකි බව නබි තුමා පවසා තිබේ. 
 
මුස්ලිම්වරුන්ට අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම ඉබාදතයක් නොහොත් කුසල් ක්‍රියාවක් වේ. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම අල්ලාහ් වෙත තම අවශ්‍යතවයන් ඉල්ලා සිටිය යුතුය. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම පස්වේලා සලතයේදී සුරා පාතිහාව පරායණය කොට අල්ලාහ්ගෙන් ඍජු මාර්ගය පෙන්වා දෙන මෙන් අයැදීම අනිවාර්‍ය වේ. එපමණක් නොව ඕනෑම ප්‍රශ්නයකදී සලාතය මගින් අල්ලාහ්ගෙන් එය ඉටු කර දෙන මෙන් ප්‍රාර්ථනා කල යුතුය. 
 
අල්ලාහ්ගෙන් කරන ප්‍රාර්ථනයන් ඉටු වීමට විශේෂ වේලාවන් ගැන නබිතුමා පවසා තිබේ. ඒ අනුව සලාතය අවසන් කිරීමෙන් පසු සිදු කරනු ලබන්නාවූ ප්‍රර්තනයන්ට අල්ලාහ් වෙත වැඩි වටිනාකමක් තිබේ. තවද උපවාස කරන තැනැත්තා සිදු කරනු ලබන ප්‍රාර්ථනයන් අල්ලාහ් පිළිගන්නේය. එසේම සිකුරාදා දිනයේ අවසාන භාගයේදී කරන දුආ ප්‍රාර්ථනයන් ඉටු වීමේ හැකියාව ඉතා වැඩිය. තවද පියෙකු විසින් තම දරුවන් වෙනුවෙන් කරන ප්‍රාර්ථනය අල්ලාහ් පිළිගන්නේය. තවද රෝගීවූ කෙනෙක් සිදු කරනු ලබන ප්‍රාර්ථනයන්ට වැඩි වටිනාකමක් තිබේ. එසේම සත් ක්‍රියාවක් කල විගස සිදු කරනු ලබන ප්‍රාර්ථනයන් ඉටු වන්නේය. විශේෂයෙන්ම කෙනෙක් රාත්‍රී ජාමයේ නැගිට තහජ්ජුත් සලාතය ඉටු කිරීමෙන් පසු කරන ප්‍රාර්තනයන්ට විශේෂ වටිනාකමක් තිබේ. මේ නිසා සෑම කෙනෙකුම මෙම අවස්තාවන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ක්‍රියා කිරීමට අධිෂ්ඨානය කල යුතුය. 

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons. Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)