ඉස්ලාම් දහම තුල තාරුණ්‍යයේ වැදගත්කම (The importance of youth in Islam)



කෙනෙකුගේ යෞවනය ඔහුගේ ජිවිතයේ දී ලබන ස්වර්ණමය අවස්ථාව වේ. එහෙත් එය නිවැරදි මාර්ගයට යොමු කල හැකි වන්නේ ළමා කාලයේදී ම ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නේ නම් පමණි. ඉස්ලාම් දහම අනුව එය දෙමව්පියන්ට පැවරෙන පරම වගකීමක් ද වේ. අල් කුරානය ඒ සම්බන්දයනේ තරයේ අවවාද කොට ඇත. මේ නිසා ළමුන්ව නිසි මගට ගැනීම වෙනුවෙන් දෙමව්පියන් ආදර්ශමත් අන්දමින් ජිවත් වීම ඉතාමත් වැදගත් කොට සැලකිය යුතුය. ඇයිද යත් ළමා කාලයේදී අවවාදයට වඩා ආදර්ශය ඉතා ඉහලින් ක්‍රියා කරන නිසාය. එය නිසි කලට සිදු නොවුයේ එනම් දරුවන්ව නිසි මගට ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. මේ නිසා කුඩා අවදියේදීම සලාතයේ සහ උපවාසයේ මෙන්ම අනෙක් ආගමික වත් පිළිවෙත්හි වැදගත්කම පෙන්වා දීමට වග බලා ගත යුතුය. 

නිවැරදි මාර්ගයේ සිටින දරුවන් ගැන දෙමව්පියන් ට මෙන්ම සමාජයටද සතුටු විය හැකිය. තරුණ සහාබා වරුන් නබි තුමා ළඟ සිටීම නිසා දේව විශ්වාසය ගැන හොඳ අධ්‍යාපනයක් ලැබුවෝය. ඒ ගැන ජුන්දුබ් රලි තුමා මෙසේ වාර්තා කරන්නේය. "අපි නබි සල් තුමා ළඟ සිටි ශක්තිමත් තරුණයින් වූයෙමු. තවද එම සමයේදී අපි අල් කුරානය ඉගෙන ගැනීමට පෙර ඊමානය ගැන ඉගෙන ගත්තෙමු. පසුව අපි කුරානය ඉගෙන ගත් අතර එමගින් අපගේ විශ්වාසය වැඩි විය" (ඉබ්නු මාජා). අද අප අතර නබිතුමා ජිවතුන් අතර නැත. එම නිසා එම අඩුව පිරවිය යුත්තේ නබිතුමාගේ ආදර්ශය දෙමව්පියන් විසින් ඉටු කිරීම තුලින් ය. කෙසේ වෙතත් දහම බරක් ලෙස පෙන්විය යුතු නැත. නබිතුමා මෙසේ පවසා ඇත, "ආගම ඉතා පහසුය. කව්රුන් හෝ තම දහම තුල බර පටවාගෙන සිටින්නේ නම් ඔහුට ඒ අකාරයටම ඉදිරියට යෑම පහසු වන්නේ නැත. එබැවින් ඔබ අන්තවාදී නොවී පරිපුර්ණ වීමට උත්සාහ කරන්න. උදේ හවස නැමදීමෙන් ශක්තිය ලබා ගන්න" (බුහාරි). ළමයෙකුට ආගමානුකුල ජිවිතයකට මග පෙන්වීමෙන් ප්‍රයෝජනය ලැබෙන්නේ එම දරුවන්ට පමණක් නොව  දෙමව්පියන්ටත් එහි පල නෙලා ගැනීමට හැකි වන්නේය.
 
නවීන සමාජය ගත් කල ළමා කාලයෙන් පසු එළඹෙන තරුණ කාලය ඉතාමත් ම තීරණාත්මක එකක් වේ. ඇයිද යත් නවීන ලෝකය තුල තරුණ ජීවිතය නොයෙකුත් මාර්ගයන් වෙත යොමු කිරීමට බලා සිටින නිසාය. ඒවායින් බොහොමයක්ම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. උදාහරණයක් වශයෙන් කාමුක දර්ශන නැරඹීම, සංගීතය, ගැහැණු ළමයින් සමග සම්බන්දතා පැවැත්වීම, දුම් පානය, මත්පැන් සහ මත්කුඩු වලට ඇබ්බැහි වීම ආදිය පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් නිසි කලට ඉස්ලාම් දහම පිලිබඳ නිවැරදි දැනුම ලබා දී තිබුනේ නම් එම උවදුරින් බේරී සිටීමට හැකි වනු ඇත. 

දරුවන්ව නිසි මගට යොමු කිරීමෙහිලා දෙමව්පියන්ට මෙන්ම ගුරුවරුන්ටත් ආගමික නායකයින්ටත් විශාල වගකීමක් පැවරෙන්නේය. එය මුදල්වලට හෝ ලෞකික දේවල් වලට යටත් නොවී නිසි ලෙස ඉටු වන්නේ නම ඉතා යහපත් සමාජයක් ගොඩ නැගීමට හැකි වනු ඇත. 

නබිතුමාගේ හදිසයක මෙලෙස සඳහන් වේ. "ආදම්ගේ දරුවන්ගෙන් අසනු ලබන ප්‍රශ්න පහකට පිළිතුරු දෙන තෙක් අල්ලාහ්ගෙන් ගැලවී යා නොහැකිය; ඒ අනුව කෙනෙක් ජිවත් වුයේ කෙසේද, ඔහුගේ තාරුණ්‍ය ගත කළේ කෙසේද, කුමන අකාරයකින් ධනය රැස්කලේද එය කුමන මාර්ගයේ වැය කලේද, ඔහුට ලබා දුන් දැනුම අනුව ජිවත් වුයේ කෙසේද යන කරුණුය" (සුනන් තිර්මිසි). මේ ගැන අපගේ විශේෂ සැලකිල්ල යොමු කල යුතුව තිබේ. එසේ නැතහොත් මෙලොවදී පමණක් නොව මරණයෙන් පසුවද එහි ප්‍රතිපල අත්විඳීමට සිදු වනු ඇත. 
 
නබිතුමා පවසා ඇති තවත් හදිසයකට අනුව මිනිසුන් අහිමිකරගන්නා ආශිර්වාදයන් දෙකක් ඇත. ඒවා කවරේද යත් ශරීර සෞඛ්‍ය සහ විවේකී කාලයයි. එහෙත් බොහෝ තරුණයින් මේවා කෙරෙහි නිසි වටිනාකමක් ලබා දී ඇති බවක් පෙනෙන්නේ නැත. එබැවින් ඔවුන් කාලය වටිනා අන්දමින් ප්‍රයෝජනයට ගන්නේ නැත. දැනට සිදු කොට ඇති ගවේෂණයන්ට අනුව තරුණයින්ගේ කාලයෙන් වැඩිම කොටසක් ගත වන්නේ අන්තර්ජාලයේ සැරිසැරීම සඳහාද, අනවශ්‍ය රුපවාහිනි වැඩසටහන් නැරඹීම සඳහාද වේ. තවත් සමහරු මධ්‍යම රාත්‍රිය වන තුරුත් යහළුවන් සමග ගත කරති. එහි ප්‍රතිපලයක් ලෙස අලුයම සලාතය නිසි වෙලාවට ඉටු කරන්නේද නැත. එය ඔවුන්ගේ ජිවිතයට විශාල ලෙස බලපෑවත් එය තේරුම් ගැනීමට කල්  යන්නේය. එවිට දුක් වීමෙන් පලක් නැත. 

තවත් සමහරු ස්මාට් ෆෝන් වලට ඇබ්බැහි වීම නිසා කෙනෙක් සමග කතා බහ කිරීමට හෝ ක්‍රීඩා කිරීමට හෝ කාලයක් ලැබෙන්නේ නැත. මේ හේතුවෙන් බොහෝ අය ළමා කාලයේදීම දියවැඩියාව සහ තරබාරුකම ට පත් වෙති. එපමණක් නොව ඔවුන් මුහුණු පොත් වැනි සමාජ ජාලා වලට ඕනෑවට වඩා යොමු වීම නිසා  මානසික අවපාතය ට ලක් විය හැකිය. 
 
නබිතුමාගේ හදිසයක මෙසේ සඳහන් වේ: අල්ලාහ්ගෙන් ලැබෙන සෙවන හැරුණුවිට වෙන කිසිම සෙවනක් නොමැති විනිශ්චය දිනයේදී කණ්ඩායම් හතකට අල්ලාහ්ගේ අර්ෂ් හි සෙවන ලැබෙන්නේය. ඔවුන් කව්රුන්ද යත්, සාධාරණ අන්දමින් පාලනය කළ පාලකයෙක්; දෙවියන් වෙනුවෙන් තම තාරුණ්‍ය කැපකළ තැනැත්තෙක්; සෑම මොහොතේම තම හදවත මස්ජිදය සමග බැඳී පැවති තැනැත්තෙක්; අල්ලාහ් වෙනුවෙන්ම පමණක් ඇලුම් කරන දෙදෙනෙක්, ඔවුන් එකතු වීමත් වෙන් වීමත් අල්ලාහ් වෙනුවෙන්ම පණනි; අලංකාර, කුලවත් කාන්තාවක් (අනියම් සම්භන්දයක් සඳහා) අරාධනා කලත් 'මා අල්ලාහ්ට බිය වෙමි'යි පවසා ඉන් වැලකී සිටි තැනැත්තෙක්; තම වම් අතට හොරෙන් දකුණු අතින් දාන දෙන තැනැත්තෙක් සහ හුදකලාවේ සිට අල්ලාහ්ව මෙනෙහි කොට කඳුළු සලන තැනැත්තෙක් වේ (සහිහ් බුහාරි). මෙම කරුණු සැලකිල්ලට ගෙන ක්‍රියා කරන්නේ නම් මෙලොව ජීවිතය සහ මතු ජීවිතය ජය ගැනීමට ලැබෙනු ඇත. තවද ජිවිතයේ වැදගත්ම කාලය තාරුණ්‍යය බැවින් ඉන් උපරිම ප්‍රයෝජන ගැනීම ඉතා වැදගත්ය. එම කාල පරිජ්ජේදය ගැන මරණයෙන් පසු ප්‍රශ්න කිරීමටද නියමිතය.

මේවා ගැන හොඳින් තේරුම් ගන්නේ නම් තම අනාගතය ගැන සිතා තාරුණ්‍ය නිසි මගට යොමු කල යුතුය. එසේ නොකරන්නේ නම් දෙමව්පියන් ඔවුන්ගේ වග කීම නිසි කලට වෙලාවට ඉටු කල පසු එහි සම්පුර්ණ වගකීම කරට ගත යුත්තේ එම වැරදි කරන අය විසින්මය. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)