අල් කුර්ආනය දේව පණිවිඩයක් වීමට හේතුව (The reason why the Quran is a message of God)


ඕනෑම ග්‍රන්තයක වැරදි තිබිය හැකිය. සැකයට තුඩු දෙන තැන් තිබිය හැකිය. පරස්පරතාවයන් තිබිය හැකිය. එහි ඇති කරුණු කාලයත් සමග යල්පැන ගිය ඒවා විය හැකිය. තවද අවිද්‍යාත්මක දේවල් ඇතුලත් විය හැකිය. එහෙත් අල් කුරානයේ මේවා කිසිවක් නැති වීම විශේෂත්වයකි.

අල් කුරානයේ ඇති භාෂා විලාසය අද්විතීය එකක් වන අතර එය සාහිත්‍ය ලෝකයේ ඇති වටිනාම ග්‍රන්ථයක් ලෙස සැලකේ. එය පද්‍ය හෝ ගධ්‍ය රචනාවක් නොවුනත් එය පරායණය කරන විට අරාබි නොදන්නා කෙනෙකුගේ පවා සිත ඒ දෙසට ආකර්ෂණය වේ. වැකි හය දහසකට වඩා ඇති අල් කුරානය අකුරක් හෝ නෑර සම්පුර්ණයෙන්ම කටපාඩම් කිරීමට හැකි වීම එහි ඇති විශේෂත්වයකි. මේ නිසා ලොව පුරා සම්පුර්ණයෙන්ම කුරානය කටපාඩම් කල හාෆිස්වරු සිය දහසකට වඩා සිටින්නේය. අල් කුරානය හැර වෙනත් කිසිම ග්‍රන්ථයක් එලෙස කටපාඩම් කොට නැත. 

අල්-කුරානය දෙවියන්ගෙන් පහළ වූ ග්‍රන්ථයක් බව පිලි නොගන්නා කෙනෙකුට එවැනි ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් ගෙන එන ලෙස අභියෝග කරන්නේය. “අපගේ ගැත්තා (වන මුහම්මද්) කෙරෙහි අප පහල කල දැය (වන අල්-කුරානය කෙරෙහි) නුඹලා සැකයෙහි සිටින්නේ නම් එවැනි පරිච්චේදයක් ගෙන එන්න. නුඹලා සත්‍යවන්තයින් නම් (මේ වෙනුවෙන්) අල්ලාහ් හැර නුඹලාගේ උදවුකරුවන්ව කැඳවාගන්න” (කුරානය 2:23). එහෙත් එදා මෙදා ජීවත්වූ කිසිම කෙනෙකුට මෙම අභියෝගය භාර ගැනීමට හැකිවී නැත. 

අල් කුරානය හත්වන සිය වසේදී පහළ කෙරුණත් එහි විසිවන සියවසේදී සොයා ගනු ලැබූ බොහෝ දේවල් අඩංගු වන්නේය. එවැනි දෙයක් සිදු වීමට තිබෙන එකම ක්‍රමය එය දෙවියන්ගෙන් පහළ වී තිබීමයි. ඒවා ගැන වෙනත් ලිපිවල සඳහන් කොට තිබෙන බැවින් නැවත එය ලිවීමෙන් වැලකී සිටිමි. 

නබිතුමාගේ ඥාතියෙකු වුද පරම සතුරෙකු වුද අබුලහබ්ට එරෙහිව පහළ වූ කුර්ආන් සුරාවද එය දෙවියන්ගේ පණිවිඩයක් බව සනාත කල හැකි හේතුවකි. එම කුරආන් සුරාව පහළවීමෙන් පසු අබුලහබ් වසර දහයකට වඩා ජිවත්ව සිටියත් ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නැත. යම් විදියකින් ඔහු ඉස්ලාම් දහම වැළඳගෙන තිබුනේ නම් කුරානය අභියෝගයා ලක් වන්නේය. 

කුරානයේ තවත් තැනක රෝම අධිරාජ්‍යයා පසියානුවන්ගේ අතින් පරාජයට පත් වන බවත් ඉතා කෙටි කාලයක් ඇතුලතදී නැවත වරක් ඔවුන් ජය ගන්නා බව සඳහන් කොට තිබේ. 

“සමීපයෙහි පිහිටි භුමිය මගින් රෝම අධිරාජ්‍යය ජය ගනු ලැබිය. ඔවුහු තමන්ගේ පරාජයෙන් පසුව අවුරුදු කීපයක් තුල (පර්සියන්වරුන්ව) ජය ගන්නෝය. මෙයට පෙරද පසුද බලය අල්ලාහ්ටම අයත්වේ. එම දිනයෙහි අල්ලාහ්ගේ උදව්ව මගින් විශ්වාස වන්තයෝ ප්‍රීතියට පත් වන්නෝය. ඔහු, තමා සිතන්නන්ට උදව් කරන්නේය. ඔහු සියල්ලම අභිබවූ කෙනාය, අසම දයාවන්තයාය. (මෙය) අල්ලාහ්ගේ ප්‍රතිඥාව වේ. අල්ලාහ් තම ප්‍රතිඥාවට වෙනස්කම් නොකරන්නේය. නමුත්, මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් නොදනිති. ඔවුහු මෙලෝ ජීවිතයෙහි බාහිර දේ ගැනම දනිති. නමුත්, ඔවුහු එලොව ගැන උදාසීන වුවන් ලෙසම සිටිති”(කුරානය 30:2-7).

මෙම පුරෝකථනය නබිතුමා ජිවතුන් අතර සිටියදීම සනාථ වීමෙන් පෙන්නුම් කරන්නේ කුරානය දේව පණිවිඩයක් බවයි. 

අල් කුරානයේ අතිශයෙන්ම පැරණි ඉතිහාසය ඉතා නිවැරදිව සඳහන් වේ. එහෙත් එම යුගයේදී ජිවත් වූ වෙනත් කිසිවෙකු විසින් එය දැනගෙන සිටියේ නැත. එසේ තිබියදී  ක්‍රි.පු. 23 ට පෙර පැවති ඉරම් නගරය ගැන කුරානයේ සඳහන් වේ. එහෙත් ඒ බව සොයාගනු ලැබුවේ විසිවන සිය වසේදීය. මෙය ඇමරිකාවේ පලවන නිලලත් සඟරාවක් වන “The American National Geographic Society” හි සඳහන් කොට තිබේ. එවැනි දෙයක් සිදු විය හැක්කේ කුරානය දේව පණිවිඩයක් නිසාය. 

පාරාවෝගේ මුර්ත දේහය පිළිබඳවත් නෝවාගේ නැව පිළිබඳවත් කරුණු අනාවරණය කර ගනු ලැබුවේ මෑත කාලයේදීය. එහෙත් එම කරුණු ඉතා නිවැරදිව කුරානය තුල සඳහන් වේ. 


By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path






Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)