මුහම්මද් (ﷺ) තුමාණන්ගේ මිහ්රාජ් ගමන [Mihraj-Night journey of the Prophet Muhammad (ﷺ)]



නබිතුමා මක්කාවේ සිට ජෙරුසලමටත් එහි සිට අහස් තරණය කොට අල්ලාහ් වෙතටත් ගිය ගමන මිහ්රාජ් වේ. එය නබිතුමා විසින් සිදු කල බලගතු ප්‍රාතිහාරයකි. එවැනි ගමනක් වෙනත් කිසිම නබිවරයෙකු විසින් සිදු කොට නැත. ප්‍රාතිහාරයක් යනු අල්ලාහ්ගේ උදව්වෙන් නබිවරුන් පමණක් සිදු කරනු ලබන හාස්කමකි. එවැනි දෙයක් නබිවරුන්ටම මිස වෙනත් කිසිවෙකුට කල නොහැකිය. ප්‍රාතිහාර වලදී සාමාන්‍ය භෞතික නීති ක්‍රියාත්මක වන්නේ නැත. එම නිසා එම ගමන කෙසේ සිදු වුයේ දැයි ප්‍රශ්න කල නොහැකිය.

සෑම නබිවරයෙකු විසින්ම ප්‍රාතිහාරයන් සිදු කොට තිබේ. උදාහරණයක් ලෙස ඉබ්‍රාහිම් නබිතුමාව ගින්නට විසි කල අවස්ථාවේදී අල්ලාහ්ගේ උදව්වෙන් ගින්න ඔහුව පිලිස්සුවේ නැත. මුසා නබිතුමාගේ හැරමිටිය අල්ලාහ්ගේ උදව්වෙන් නාගයෙකු බවට පත් කළේය. එම හැරමිටියෙන්ම මුහුද දෙබෑ කොට ඇත. නබිතුමාගේ මිහ්රාජ් ගමනත් එවැනිම ප්‍රාතිහාරයකි. එම ගමන එක් රැයකදී මක්කාවේ සිට ජෙරුසලමේ පිහිටි බයිතුල් මුකද්දිස් වෙතටත් එහි සිට අල්ලාහ්ව හමු වීමටත් ගොස් ආපසු පැමිණ තිබේ. අල් කුරානය එම ගමන මෙසේ විස්තර කරන්නේය. "ශුවිශුද්ධවන්තයා වන ඔහු තම ගැත්තාව මස්ජිදුල් හරාම්හි සිට අවට පරිසරය භාග්‍යවත් කල මස්ජිදුල් අක්සා තෙක් ආශිර්වාද ලත් එම රාත්‍රියෙහි කැඳවාගෙන ගියේ අපගේ සාක්ෂින් පෙන්වීම සඳහාය" (කුරානය 17:1).

මස්ජිදුල් අක්සාහිදී නබිතුමා සෑම නබිවරයෙකුටම නායකත්වය දෙමින් සලාතය ඉටු කර තිබේ. ඉන් පසු ජිබ්‍රිල් දේවදුතයා ස්වර්ගයෙන් රැගෙන පැමිණි බුරාක් නමැති සත්වයාගේ පිටේ නැග අල්ලාහ්ව බැහැ දැකීම සඳහා පිටත්ව ගොස් තිබේ. මුහම්මද් (ﷺ) තුමා එම සත්වයාගේ වේගය විස්තර කොට ඇත්තේ ඇසට පෙනෙන දුරට ඌ පිම්ම තැබූ බවයි. කෙසේ වෙතත් එය ප්‍රාතිහාරයක් බවින් සාමාන්‍ය කෙනෙකුට එය තේරුම් ගත නොහැකිය.

එම ගමන යන අතර තුර එක් එක් අහසේ දී මිට පෙර මෙලොවට පැමිණි නබිවරුන් වන ආදම්, යහියා, ඊසා (ජේසු තුමා), සුසුෆ්, ඉදිරිස්, හාරුන්, මුසා (ඔවුන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) යන නබිවරුන් හමුවී ඇති අතර ඔවුන්ට සලාම් පවසා ඔවුන් සමග කතා බහ කොට ඇත. අවසාන වශයෙන් අල්ලාහ් වෙත ගොස් තිබේ. එම ගමනේදී නබිතුමාට බයිතුල් මාමුර් දේවස්ථානය, ස්වර්ගය සහ නිරය දැක ගැනීමට ලැබී ඇත. එම ගමන ගොස් ආපසු හැරී පැමිණෙන විට පංච කල සලාතය සහ සුරා බකරාහි අවසාන වක්ක්‍යය ද ගෙනවිත් තිබේ.

මිහ්රාජ් ගමන සිදුවූ දිනය සම්බන්දයෙන් ඉස්ලාමිය විද්වතුන් අතර විවිධ මත පලවී ඇත. අත් තබරි තුමා පවසන්නේ එය නබිත්වය සිදු වූ වසරේම සිදුවූ බවයි. නවවි සහ අල් කුර්තුබි යන දෙදෙනා පවසන්නේ එය නබිත්වයෙන් වසර 5 කට පසුව සිදුවූ බවයි. ඊට අමතරව තවත් බොහෝ මත ප්‍රකාශ වී තිබේ.

මිහ්රාජ් ගමන ගොස් පැමිණි නබිතුමා පසුවදා අවදි වුයේ විශාල කනස්සල්ලකිනි. ඊට හේතුව මක්කා වාසින් එය විශ්වාස කරයිදෝ නොකරයිදෝ යන බිය නිසාය. එසේ තිබියදී ඔහුගේ එදිරිවාදියෙක් වූ අබු ජහිල් නබිතුමා අසලින් යමින් සිටියදී නබිතුමාව දැක "අළුත් යමක් නැද්දැයි" අපහාසාත්මකව විමසා ඇත. එවිට නබිතුමා අළුත් සිදුවීමක් ඇතැයි පවසමින් මිහ්රාජ් ගමන ගැන සැලකොට තිබේ. අබු ජහිල් මෙය විශ්වාස නොකළත් එම පුවතට ඉතා ඕනෑකමින් සවන් දී තිබේ. ඉන් පසු නබිතුමා ඔහුට පවසා සිටි දේවල් අනෙක් අය ඉදිරියේත් මේ අකාරයටම පැවසිය හැකි දැයි නබිතුමාගෙන් විමසා ඇත. ඊට නබිතුමා 'ඔව්' යැයි පිළිතුරු දුන් විට අබු ජහිල් ඔහුගේ සගයින් එම ස්ථානයට කැඳවාගෙන ඇවිත් තිබේ. අනතුරුව නබිතුමා ඔවුන්ටත් එම මිහ්රාජ් ගමන පිළිබඳව සියලු විස්තර පවසා ඇත. ඊට සවන්දුන් අබුජහිල්ගේ සගයින් මහා හඬින් සිනාසී නබිතුමාට අපහාස කොට ඇත. පසුව නබිතුමා පවසන දේ සත්‍යදැයි පරික්ෂා කිරීම සඳහා ඔහුගෙන් ජෙරුසලමේ පිතිටි දේවස්ථානය ගැන විස්තර විමසා තිබේ. ඔවුන් අසන සෑම ප්‍රශ්නයකටම නබිතුමා ඉතා නිවැරදිව පිළිතුරු දීම නිසා ඔවුන් නිරුත්තර වී එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. කෙසේ වෙතත් ඉන් නොනැවතුනු අබුජහිල් නබිතුමාව බොරු කාරයෙක් කිරීම සඳහා නබිතුමාගේ හිත මිත්‍ර අබු බක්කර් රලි තුමා වෙත ගොස් මිහ්රාජ් ගමන ගැන සැලකොට ඇත. එවිට අබුබක්කර් රලි තුමා අබුජහිල් ඇතුළු පිරිසගෙන් මෙම කරුණු මුහම්මද් (ﷺ) තුමා පැවසුවාදයි ප්‍රශ්න කොට තිබේ. ඊට "ඔව්" යැයි ඔවුන් පිළිතුරු දුන් විට අබුබක්කර් රලි තුමා කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව නබිතුමා පවසන දේ සත්‍යයක් බව පිළිගෙන තිබේ. එතැන් පටන් අබු බක්කර් රලි තුමාට සිද්දීක් යන නම පට බැඳුනේය.

මිහ්රාජ් ගමන නබිතුමාට ලැබුණු සුවිශේෂී ප්‍රාතිහාරයක් වුවද ඒ සම්බන්දයෙන් කිසිම ආගමික වතාවක් සිදු කරන ලෙස නබිතුමා පෙන්වා දුන්නේ නැත. තවද එම දිනය කවදා දැයි නිශ්චය වශයෙන්ම හදිස්වල සඳහන් වන්නේද නැත. මේ නිසා එම රාත්‍රිය අලලා කිසිම නැමදීමක් හෝ එම දිනයේදී උපවාස කිරීම හෝ වෙනත් පුණ්‍යමය කටයුතු කල නොහැකිය. එවැනි දෙයක් ඇතොත් නබිතුමා අනිවාර්යයෙන්ම අපට එය දැනුම් දෙනු ඇත. එසේ තිබියදී නබිතුමා පෙන්වා නොදුන් දෙයක් දහමට එකතු කිරීම නබිතුමා අනුමත කොට නැත.

By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.J.Pura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)