දෙවියන් සියල්ල දන්නේ නම්, ඔහු මිනිසාව පරීක්ෂා කරන්නේ ඇයි? (If God knows everything, why does He test man?)



 
දෙවියන් සර්ව බලධාරියා මෙන්ම සර්වඥානී ද වේ. එසේ තිබියදී මිනිසාව පරික්ෂා නොකර ස්වර්ගයට  නියමිත  අයව ස්වර්ගයටත් නිරයට නියමිත අයව නිරයටත් නොදමන්නේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත. ඇත්ත වශයෙන්ම දෙවියන්ට ඉතා පහසුවෙන්ම ඒ දේ කල හැකිය. එහෙත් මිනිසාව පරික්ෂා කරන්නේ ස්වර්ගය හෝ නිරය මිනිසා විසින්ම තෝරාගන්න දෙයක් බව ඒත්තු ගැන්වීම සඳහාය. අල් කුරානය මෙසේ පවසයි: "මිනිසුන් 'අපි විශ්වාස කරන්නෙමු'යි පැවසූ පමණින් සෝදිසි නොකර අත් හරිනු ලබන්නේදැයි සිතා සිටින්නෝද? නියත වශයෙන්ම මොවුන්ට පෙර සිටියවුන්වද අපි සෝදිසි කළෙමු. ඇත්ත වශයෙන්ම සත්‍යවන්තයින් කව්රුන්ද, බොරු කාරයින් කව්රුන්ද යන්න අපි ප්‍රසිද්ධ කරමු" (කුරානය 29:2-3). මේ සඳහා මිනිසාට ජිවිතයක් සහ මරණයක් ලබා දී ඇත. 

මිනිසාව මැවීමට ප්‍රථමයෙන්ම ඔහුගේ දෛවය ලියා හමාරය. එය දෙවියන්ගේ දැනුම හා සම්බන්ද කරුණකි. උදාහරණයක් වශයෙන් දක්ෂ ගුරුවරයෙකුට පන්තියේ සමත්වන සිසුන් කව්ද අසමත්වන සිසුන් කව්ද යන්න කලින්ම පැවසිය හැකිය. ගුරුවරයෙකුට එසේ කල හැකි නම් සියල්ල දත් දෙවියන්ට එය කල නොහැක්කේ මන්ද? ගුරුවරයා දන්නා දේ කළින්ම ලියා තැබීම නිසා සිසුන්ගේ ප්‍රතිපලවලට බලපෑමක් ඇති වන්නේ නැත. එහෙත් එම ලේඛනය උපයෝගී කර ගෙන සිසුන්ව සමත් කිරීම හෝ අසමත් කිරීම සිදු කරන්නේ නැත. එසේ කලත් එම සිසුන් එය අනුමත කරන්නේද නැත. මේ නිසා ළමුන්ව සමත් කිරීමට හෝ අසමත් කිරීමට අනිවාර්යයෙන්ම විභාගයක් පවත්වන්නේය. එහෙත් බොහෝ විට එම ප්‍රතිපලත් කුරුවරයා ලියා තැබූ දේත් සමාන වනු ඇත. තවද ගුරුවරයා ළමුන් ගැන කලින්ම ලියා තැබීම නිසා ඔවුන්ගේ ප්‍රතිපල කෙරෙහි කිසිම බලපෑමක් ඇති වන්නේද නැත. මේ ආකාරයටම මිනිසුන්ගෙන් ස්වර්ගයට යන්නේ කව්ද නිරයට යන්නේ කව්ද යන්න දෙවියන් කලින්ම දැනගෙන සිටියත් ස්වර්ගය හෝ නිරය ලබා දෙන්නේ මිනිසාව පරික්ෂා කිරීමෙන් පසුය. 

මිනිසාට මග පෙන්වීම සඳහා දෙවියන්ගෙන් දහම් පණිවිඩ ලැබී ඇත. ඒවා නබිවරුන් විසින් ක්‍රියාවට නංවා තිබේ. මෙම පණිවිඩ වලින් නිවැරදි දේ තෝරාගැනීම මිනිසා හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. ඉන් පසු එම දහම අනුව ජිවත් වීම මිනිසා හමුවේ ඇති පරික්ෂාවකි. බොහෝ අය මෙහිදී අසමත් වන්නේ සත්‍යය දැක දැකත් තම ආශාවන්ට වහල් වීම නිසාය. 

මිනිසාගේ ආරම්භයේ සිටම දහම දෙසීම සඳහා බොහෝ නබිවරුන් පැමිණ තිබේ. එම නබිවරුන් අභාවප්‍රාප්ත වන අවස්ථාවේදී ඔහුගෙන් පසුව එන නබිවරයා ගැන දැනුම් දී තිබේ. ඒ අනුව ඔහුගෙන් පසු පැමිණි නබිවරයාව අනුගමනය කිරීම මිනිසාට පැවරෙන වගකීමකි. එහෙත් බොහෝ අය කරන්නේ ඔවුන් පිළිපදිමින් සිටි නබිවරයාව දිගටම අනුගමනය කිරීමයි. මේ නිසා සෑම නබිවරයෙකුම එකම දෙවි කෙනෙකුගෙන් පැමිණියත් මිනිසාගේ මෙම වැරදි ක්‍රියාව නිසා මංමුලා වෙති. 

අල් කුරානය දෙවියන්ගෙන් පහළ වූ අවසාන දහම් පණිවිඩය වේ. ඊට කලින් ද දෙවියන් විසින් ආගම් පණිවිඩ පහළ කොට තිබේ. එහෙත් අවසාන දහම් පණිවිඩය පහළ වීමෙන් පසු ඒවා වෙනුවට අවසාන වරට පහළ කරන ලද දහම අනුගමනය කිරීම අනිවාර්ය වන්නේය. 

කුරානය හැර අද තිබෙන බොහෝ ආගම් ඒවා පහළ වූ භාෂාවලින් දැකිය නොහැකිය. තවද ඒවායේ බොහෝ වෙනස්කම් සිදු වී තිබේ. ඇතැම් ඒවාගේ කොටස් අතුරුදහන් වී ඇත. ඇතැම් ආගම් පුස්තක්වල බොහෝ අනුවාද දැකිය හැකිය. එම නිසා නිවැරදි පිටපත කුමක්දැයි ප්‍රශ්නයක් පැන නගින්නේය. එසේ තිබියදී මෙළොවට පහළ වී ඇති කුරානය එය පහළ වූ භාෂාවෙන්ම අදටත් දැකිය හැකිය. එහි කිසිම වෙනසක් සිදුවී නොමැත. එහි තිබෙන්නේ එකම පිටපතක් පමණි. අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බවට හේතු සාදක ඒ තුලම ස්ථාපනය කොට තිබේ. එබැවින් ඒවා ගවේෂණය කොට සත්‍යය දැන ගැනීම මිනිසාගේ වගකීමකි. 

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twitter:- thetrue_path.

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)