මුස්ලිම්වරයෙකුගේ ඇදහිල්ලට හානි කරන දේවල් (Things that harm the faith of a Muslim)
මුස්ලිම්වරයෙකුගේ ඇදහිල්ලට හානි කරන දේවල් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීම සහ දහමට අලුතින් දේවල් එකතු කිරීම වේ. එහෙත් බොහෝ මුස්ලිම්වරුන්ට මෙය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. එහි ඇති භයානක කම වන්නේ එවැනි වැරැද්දක් කරන කෙනෙක් ඔහුගේ මරණය දක්වාම එම වැරැද්දට සමාව නොගෙන මරණයට පත් වීමට තිබෙන හැකියාවයි. අල්ලාහ්ට සමානයන් තබමින් සිට මරණයට පත් වූ අයට මරණයෙන් පසු සමාවක් නැත.
මුස්ලිම්වරයෙකුගේ නැමදීම, ප්‍රර්ථනා කිරීම, කැප කිරීම, පඬුරු දැමීම ආදී සියලුම දේවල් අල්ලාහ් වෙනුවෙන්ම පමණක් විය යුතුය. එසේ තිබියදී අල්ලාහ්ට නැමදුම් කරන අතරම මළවුන් හරහාද අල්ලාහ් වෙත තම ප්රාර්ථනයන් යොමු කිරීම ප්‍රධාන අකුසලයකි. තවද කැපකිරීම් සහ පඬුරු දැමීම් කල යුත්තේ අල්ලාහ් වෙනුවෙන් පමණි. එම නිසා මළවුන් වෙනුවෙන් හෝ වෙන යම් කෙනෙකු වෙනුවෙන් එය සිදු කිරීම හරාම් වේ.
"ඔවුන් අල්ලාහ් වෙනුවට තමන්ට හිංසාවක් හෝ යහපතක් හෝ සිදු කිරීමට හැකියාවක් නොමැත්තන්ට නැමදුම් කරති. තවද "මේවා අල්ලාහ්ටත් අපටත් අතර සිටින අතරමැදියන්" යැයිද ඔවුන් පවසන්නෝය. පවසනු:"අහස්හි සහ පොළොවෙහි අල්ලාහ් නොදන්නා දේ (ඇති බව සිතා ඒවා) ගැන නුඹලා ඔහුට දැනුම් දීමට යන්නෙහිද?" ඔවුන් (අල්ලාහ් සමග) හවුල්කරුවන් කිරීමට යන දේවල් වලට වඩා බෙහෙවින් ඔහු සුවිශුද්ධවන්තයාය" (කුරානය 10:18)
කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් කොට ඇත. "ඔවුන් සියලු දෙනාම අප එක්රැස් කරන දිනයේදී (අල්ලාහ්ට) සමානයන් ඇති කළවුන් අමතා, 'නුඹලා සහ නුඹලා සම කල දෙවිවරුන් සමග නුඹලා සිටින තැනම නවතිනු' යැයි පවසන්නෙමු. තවද, අපි ඔවුන්ව වෙන් කරන්නෙමු, එවිට ඔවුන්ගේ සමකල දෙවිවරුන් 'නුඹලා අපට නැමදුම් කරන්නන් ලෙස සිටියේ නැතැ'යි පවසන්නෝය" (කුරානය 10:28).
එහෙත් එම දිනයේදී අල්ලාහ් වෙනුවට වැඳුම් පිදුම් කල කිසිම දෙයකින් කිසිම කෙනෙකුට උදව් කල හැකි වන්නේ නැත. මේ නිසා ඔවුන් ඉතා නීච තත්වයට පත් වන්නෝය. අල්ලාහ් ඔහුට සමානයන් තැබීම හැර අනෙක් සියලුම පව් වලට සමාව දෙන්නේය. ඒ අනුව යම් කෙනෙක් අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කොට තිබුනේ නම් ඔහුගේ සලාතය, උපවාසය, හජ් සහ zසකාත් වලින් කිවිවක් කල නොහැකි අතර ස්වර්ගය ලැබෙන්නේද නැත. අල්ලාහ් කෙරෙහි විශ්වාසය පළුදු කර ගත් විට ඔහු කරන සෑම කුසල් ක්‍රියාවක්ම ව්‍යර්ථ වන්නේය. අල් කුරානයේ මෙසේ සඳහන් වේ.
"නියතව අල්ලාහ් තමාට කිසිම දෙයක් සම කරනු ලැබීම ක්ෂමා නොකරන්නේ ය. එය හැර අනෙක් ඒවාට ඔහු තමා සිතන අයට ක්ෂමා කරන්නේය. කවරෙක් අල්ලාහ්ට නැමදීමේදී අදේශයන් කරයිද ඔහු නියතව මහා පාපයක් කළ අයෙකු වේ" (කුරානය 4:48).
අබු හුරෛරා රලි තුමා පවසන වග නම්: නබිතුමා මෙසේ පැවසුවේය. "යා අල්ලාහ් මගේ සොහොන වන්දනාමාන කරන පිළිමයක් බවට පත් නොකරන්න. නබිවරුන්ගේ සොහොන් වන්දනා කරන අයට අල්ලාහ් ශාප කොට තිබේ" (මුසනද් අහමඩ් 7311).
සොහොන් වන්දනය සම්බන්දයෙන් මෙසේද හදිස් දැකිය හැකිය. අබ්දුල්ලා ඉබ්නු මසුද් රලි තුමා නබිතුමාගේ හදිසයක් මෙසේ පවසන්නේය: නියත වශයෙන්ම නරකම මිනිසුන් වන්නේ තම ජිවිත කාලය තුලදී තම වන්දනා මාන තැන් ලෙස සොහොන් යොදාගෙන සිටින අතර තුර මරණය අත්කර ගන්නා අය වේ. (මුසනද් අහමඩ් 4132).
මේ හේතුවෙන් සොහොනක් ආශ්‍රිතව වැඳුම් පිදුම් කිරීම ප්‍රධාන අකුසල් ක්‍රියාවක් වේ. මේ හැරුණු විට තව බොහෝ නබි වදන් වලින් සොහොන් ආශ්‍රිතව වන්දනා කරන අයට අවවාද කොට තිබේ. මේ නිසා අප කොතරම් ගරු කරන කෙනෙක් වුවත් ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ සොහොන් ආශ්‍රිතව කිසිම ආගමික කටයුත්තක් නොකර සිටීමට වග බලා ගත යුතුය.
මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයට අහිතකර ලෙස බලපාන තවත් දෙයක් නම් බිද්අත් ක්රියාවන්ය. එනම් නබිතුමාගේ අභාවයෙන් පසු දහම තුලට එක්කරන ලද අලුත් ඇදහිලි වේ. දහමට ඇදහිලි එකතු කල හැක්කේ අල්ලාහ්ට පමණි. එසේ තිබියදී අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා දහම තුලට අලුතින් ඇදහිලි එකතු කිරීම ප්‍රධාන අකුසල් ක්‍රියාවක් වේ. කුරානයෙන් සහ හදිස්වලින් පෙන්වා දී ඇති දේවල් වෙනුවට අලුතින් දහමට එක්කල දේවල් මහත් උද්යෝගයකින් කරත් ඒවාට කුලියක් ලැබෙන්නේ නැත. මුස්ලිම් නොවන කෙනෙකුට ඉස්ලාම් දහම නිවැරදිව දැනගැනීමට තිබෙන ප්‍රධාන බාදාවක් වන්නේ මුස්ලිම්වරුන් නිවැරදිව ඔවුන්ගේ දහම අනුගමනය නොකර සිටීමයි. මෙය දහමට කරන විශාල හානියකි.
Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment