ඉස්ලාමයේ නිකායික බෙදීම් තිබිය හැකිද? (Can there be sectarian divisions in Islam?)
අල් කුරානයට අනුව ඉස්ලාම් දහමේ නිකායික බෙදීම් ඇති කිරීම වරදකි. කුරානය මෙසේ පවසයි: "නියත වශයෙන්ම කව්රුන් හෝ තම දහම කොටස් වලට බෙදා නිකායන් ඇති කරයිද ඔවුන් විෂයෙහි ඔබගේ කිසිම සම්බන්දයක් නැත. ඔවුන්ගේ විෂය අල්ලාහ් වෙතම පැවරෙන්නේය. ඔවුන් කරමින් සිටි දේ පිළිබඳව ඔවුනට ඔහු (අල්ලාහ්) පසුව දැනුම් දෙනු ලැබේ" (කුරානය 6:159). අල් කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වෙයි. "නුඹලා සියලුදෙනාම (කුරානය නැමති) අල්ලාහ්ගේ කඹය තදින් අල්ලාගනු නුඹලා වෙන් නොවනු" (කුරානය 3:103). මුස්ලිම්වරුන්ගේ සමගිය දැකිය හැක්කේ ඉස්ලාම් දහමේ ස්වර්ණමය යුගය පැවති නබිතුමා ජිවතුන් අතර සිටි කාලයේ සහ ඔහුගෙන් පසු පැමිණි කලීෆා වරුන් සිව් දෙනාගේ සමයේදීය.
කුරානය එසේ පවසා තිබුනත් මුස්ලිම්වරුන් කණ්ඩායම් 73 කට බෙදෙන බව නබිතුමා කලින්ම දැන සිටියේය. ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් හැර අන් සියලුම කණ්ඩායම් නිරයට යන බව නබිතුමා දැනුම් දුන්නේය. එවිට සහාබාවරුන් එම ස්වර්ගයට යන කණ්ඩායම කව්රුන් දැයි නබි තුමාගෙන් විමසා ඇති අතර නබිතුමා පවසා තිබෙන්නේ ඔහු සහ ඔහුගේ සහාබාවරුන් එදා සිටි අකාරයට ඉස්ලාම් දහම පිලි පදින අය බවයි (තිර්මිසි, ඉබ්නු මාජා, අබු දාවුද්).
ඉස්ලාම් දහම තුල නිකාය බෙදීම් ආරම්භ වන්නේ අලි (රලි) තුමාගේ අවසාන කාල පරිජ්ජේදයේදිය. ඇතැමුන්ට උවමනා කලේ උස්මාන් රලි තුමාගේ ඝාතනය සැලසුම් කල අයට දඬුවම් කිරීමයි. ඒ සම්බන්දයෙන් අලි රලි තුමාට බලපෑම් කරනු ලැබුවත් සුදුසු වේලාව පැමිණෙන තුරු ඔහු එය කල් දැම්මේය.
උස්මාන් රලි තුමාගේ ඝාතනය සැලසුම් කලේ ඉස්ලාම් වේශයෙන් පෙනී සිටි අබ්දුල්ලා ඉබ්නු සාබා ය. ඔහුගේ සැලසුම අනුව උස්මාන් රලි තුමා සිය නිවසේ කුරානය පාරායනය කරමින් සිටියදී ඝාතනය විය. ඉන්පසු පාලන බලය අතට ගත්තේ අලි රලි තුමාය. එහෙත් එවකට ආණ්ඩුකාරවරයාව සිටි මුආවියා රලි තුමා අලි රලි තුමාගේ පත්වීම පිලි නොගත් අතර අලි රලි තුමාට එරෙහිව නැගී සිටියේය. ෂියා සහ කවාරිජ් යන කණ්ඩායම් දෙක බිහි වන්නේ ඔවුන් දෙදෙනා අතර ඇතිවුණු යුද්ධයේ ප්‍රතිපලයක් ලෙසය. එම කණ්ඩායම් දෙකම මුලදී දේශපාලන හේතු මත ගොඩ නැගුනත් කාලයාගේ ඇවෑමෙන් ආගමික නිකායන් බවට පත් විය. මේ වන විට ඉස්ලාම් දහම තුල බොහෝ නිකායන් බිහිවී තිබේ.
සුෆිවරුන් බිහි වන්නේ ක්‍රි.ව. 632කේ මුල් භාගයේ දීය. අරාම්භයේදී එය සුන්නි වරුන්ගේ මුහුණුවරක් ගෙන තිබුනත් පසු කාලිනව නොයෙකුත් අළුත් ඇදහිලි එම නිකාය තුල ඇතුලත් වීම හේතුවෙන් එය වැරදි මාර්ගයේ ගමන් ගත්තේය. අද අපි දකින සෑම තරිකාවක්ම සුෆි වාදය මත ගොඩ නගා තිබේ.
සුෆි වරුන්ගේ තාරිකාවන්හි සාන්තුවරයන්ගේ සොහොන් ආශ්‍රිත වැඳුම් පිදුම් සිදු කෙරේ. එහෙත් ඒවා ඉස්ලාම් දහමින් පෙන්වා දුන් ඒවා නොවේ. මේ වන විට සුෆි කණ්ඩායම් දුසිම් ගණන් බිහි වී ඇත. මේ සෑම සුෆී කණ්ඩායමක්ම අල්ලාහ්ට පමණක් තිබිය යුතු ගුණාංග ඔවුන්ගේ ඉමාම් වරුන්ටත් ලබා දී තිබේ. තවද ඔවුන් නබිතුමා පෙන්වා නුදුන් වචන භාවිතයෙන් කණ්ඩායම් සෑදී අල්ලාහ්ව ශබ්ද නගා සික්ර් කරන්නේය. රිෆායි තරිකාව තවත් පියවරක් ඉදිරියට තබමින් ඉස්ලාම් දහමින් පෙන්වා නොදුන් රබාන් වාදනයක් අලුතින් ඇති කොට අල්ලාහ්ව සික්ර් කරනු ලැබේ. එපමණක් නොව එම තරිකාව පිළිපදින අය ශරීරය කපාගැනීමෙන් ප්‍රාතිහාර සිදු කිරීමට උත්සාහ කරති. එහෙත් එවැනි දේවල් නබිතුමා පෙන්වා දුන්නේ නැත.
සුෆි වාදය තුල බොහෝ හින්දු විශ්වාසයන් ඇතුලත් වේ. ඒ අනුව අල්ලාහ් සෑම තැනම සිටින බව විශ්වාස කිරීම සුෆි වරුන්ගේ විශ්වාසයකි. මෙම සංකල්පය වහ්ජතුල් වුජුද් ලෙස නම් කර තිබේ. එහෙත් ඉස්ලාමිය විශ්වාසය අල්ලාහ් අර්ෂ් හි සිටින බවත් ඔහු අර්ෂ්හි සිට සියලුම දේවල් පාලනය කරන බවත්ය. අල්ලාහ් ඔහුගේ මැවීම් සමග භෞතිකව සම්බන්ද නොවුනත් ඔහුගේ බැල්ම තුල සෑම දෙයක්ම පවතින්නේය.
නබි තුමාගේ මග පෙන්වීම අනුව මුස්ලිම් වරුන් කුරානය නැමති කඹය තදින් අල්ලා ගත යුතුය. ඒ තුලින් සියලු දෙනා එකමුතු විය යුතුය. නිකායික ලෙස බෙදී වෙන්වී සිටීම මුස්ලිම්වරුන්ගේ පිරිහීමට හේතුවක් වේ. ස්වර්ගයට මාර්ගය කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම පමණි.
By Fasy Ajward B.Sc(Sp.Phy) Hons.Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path
Comments
Post a Comment