ඉස්ලාම් දහම අනුව විනිශ්චය දිනය යනු කුමක්ද? (What is Judgment Day according to Islam?)
ඉස්ලාම් දහමේ ඉගැන්වීම් අනුව මෙලොව උපන් සියලු දෙනාම නැවත නැගිටුවා ප්‍රශ්න කරන දිනයක් තබේ. එම දිනය අල් කුරානයේ "යව්මුල්කියාමා" ලෙසද "යව්මුද්දීන්" ලෙසද වෙනත් වචන වලින්ද විස්තර කොට තිබේ. විනිශ්චයදිනය කවදා සිදු වන්නේ දැයි අල්ලාහ් හැර වෙන කිසිවෙකු දන්නේ නැත. කෙසේ වෙතත් එම දිනය ආරම්භ වන්නේ ඉස්රාෆිල් නමැති දේවදුතයා විසින් අල්ලාහ්ගේ නියෝගය ලැබුණු පසු නලාවක් නාද කිරීමෙන් පසුව යැයි නබිතුමා පැවසුවේය. පළමු නලා හඬත් සමග සියලුම ජීවින් මරණයට පත් වන අතර අල්ලාහ් ගේ නියෝගය ලැබුණු පසු දෙවන වර නලාව පිඹිනු ලැබේ. එවිට මෙළොව ඉපදී මිය ගිය සෑම කෙනෙක්ම වර්ෂාවකින් පසු භූමියෙන් පැල හටගන්නා අකාරයටම තම තමන් මිහිදන් වූ ස්ථානයේ සිට නැගිටිනු ඇත. ඉන් පසු ඔවුන් සියලු දෙනාම විනිශ්චය සිදු කරනු ලබන ස්ථානයට ඒකරාශී කරනු ලැබේ. අල් කුරානයේ සඳහන් වන ආකාරයට විනිශ්චය දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස්දහසක් වේ.
සොහොනේ සිට පිටතට එන සෑම කෙනෙකුටම ඔවුන් මෙලොවදී කරන ලද දේවල් අංක පිළිවෙලට ලියන ලද ලේඛනයක් ලබා දෙන්නේය. එහි මෙලොවදී කරන ලද සියලුම දේවල් එකක් නෑර සඳහන් වී තිබීම දැක මවිතයට පත් වන්නේය. එම ලේඛනය දකුණු අතට ලැබුණු අය ස්වර්ග වාසින් වන අතර පිටුපසින් ලැබුණු අය නිරා වැසියන් වේ.
විනිශ්චය දිනය ඉතාමත්ම භයානක දිනයක් වනවාට කිසිම සැකයක් නැත. එම දිනය ගැන කුරානයේ එක් වැකියක මෙසේ විස්තර කොට ඇත. "නුඹලා එය දකින දවසෙහි, කිරි පොවන එක් එක් මවක්ව තමා කිරි පෙවූ දෙය අමතක කරන්නීය. එක් එක් ගැබිනියක්ම තම ගැබ් බර ප්‍රසුත කරන්නීය. 'නුඹ මිනිසුන්ව මත්වුවන් ලෙස දකින්නේහිය' (එහෙත්) ඔවුන් (මත්පැනින්) මත්වුවන් නොවෙති. නමුත් අල්ලාහ් ලබා දෙන වේදනාව දැඩි දෙයක් වේ" (කුරානය 22:2).
එම දිනයේදී සුර්යයා ඉතා කිට්ටුවට ගෙනවිත් තබනු ලැබේ. ඒ අනුව මිනිසුන් අධික ලෙස දහඩිය දමමින් මහත් පිඩාවට පත්වන්නෝය. එම පිඩාව කෙතරම් දැයි කිවහොත් ඇතැම් අය වළලු කර දක්වාද ඇතැම් අය දණහිස දක්වාද තවත් සමහරු තම ඉන දක්වාද තවත් සමහරු තම උරහිස දක්වාද දහඩියේ ගිලී යන්නෝය. එහෙත් කණ්ඩායම් හතකට පමණක් දෙවියන්ගේ අර්ෂ් හි සෙවන ලැබෙන බව නබිතුමා පැවසුවේය. ඔවුන් කව්රුන්ද යත්; ධර්මිෂ්ඨ පාලකයෙක්; අල්ලාහ්ගේ අණ පිළිපදිමින් හැදී වැඩුණු තරුණයෙක්; මස්ජිදය කෙරෙහි හදවත බැඳී තිබුණු කෙනෙක්; අල්ලාහ්ගේ කරුණාව උදෙසා එකිනෙකා ආදරය කල දෙදෙනෙක්, ඔවුන් එකතුවීමත් වෙන්වයාමත් අල්ලාහ් වෙනුවෙනි; අලංකාරවත් කුලවත් ස්ත්‍රියක් නීති විරෝදී කටයුත්තක් සඳහා ආරාධනා කලත්, 'මා අල්ලාහ්ට බිය වන්නෙමි'යි පවසා ඉන් වැලකී සිටි කෙනෙක්; දකුණු අතින් දෙන දේ වම් අතටව නොපෙනෙන පරිදි පුණ්‍ය කටයුතු කල දානපතියෙක්, හුදකලා ස්ථානයක සිටිමින් අල්ලාහ්ව මෙනෙහි කොට එම බියෙන් කඳුළු සැලූ කෙනෙක් වන්නෝය.
මෙලොවදී සෑම කෙනෙකුටම අල්ලාහ් ගැන දැනගැනීමට අවස්ථාව ලබා දී තිබුනත් ඇතැම් අය අල්ලාහ්ව මරණය දක්වාම විශ්වාස නොකරම මිය යන්නේය. එහෙත් මරණයෙන් පසු ඔවුන් සත්‍යය ඇස්පනා පිට දුටු පසු කුමන හෝ වන්දියක් ගෙවා ඉන් ගැලවීමට සිතනු ඇත. එහෙත් කිසිම වන්දියක් ගෙවා එම බිහිසුණු තත්වයෙන් ගොඩ ඒමට නොලැබෙන බව කුරානය මෙසේ විස්තර කොට ඇත. "කවරෙකු (දෙවියන්ව) ප්‍රතික්ෂේප කරමින් සිට ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම මිය ගියෝද, වන්දි වශයෙන් පොළව පිරෙන්නට රත්‍රන් දෙනු ලැබුවත් ඔවුන්ගෙන් එය පිළිගනු ලබන්නේ නැත. ඔවුන්ට හිමි වන්නේ වේදනාකාරී දඬුවම පමණි. ඔවුන් වෙනුවෙන් උදව්වට ද කිසිවකු නොමැත" (කුරානය 3:91). එම දිනයේදී කිසිම කෙනෙකුට අසාධාරණයක් සිදු වන්නේ නැත. ඒ බව මෙම කුර්ආන් වැකියෙන් පවසා තිබේ. "අද දවසෙහි කවර ජීවියෙකුට වුවද සුළු වශයෙන් හෝ අසාධාරණයක් සිදු කරන්නේ නැත. නුමලා කරමින් සිටි දේවල් හැර වෙන දේවල් වලට කුලිය දෙනු නොලබන්නේය" (කුරානය 36:54).
අල්ලාහ්ගේ අවසරයකින් මිස විනිශ්චය දිනයේදී කිසිවෙකුටත් තවත් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. මේ නිසා දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට හෝ දෙමව්පියන් වෙනුවෙන් දරුවන්ට හෝ උදව්වක් කල නොහැක. මෙලොවදී වැරදි කිරීමට පෙළඹවූ කිසිවෙකු එහිදී උදව්වට එන්නේද නැත.
විනිශ්චය දිනයේදී පිටින් සාක්ෂි කරුවන් කැඳවන්නේ නැත. ඒ අනුව ඒ ඒ පුද්ගලයින්ගේ ශරීර අවයව ඔවුන්ට විරුද්ධව කතා කරන්නේය. ඔවුන්ගේ අත් කතා කරන අතර ඔවුන්ගේම පාද ඊට සාක්ෂි දෙන්නේය. කුරානය මෙසේ පවසා ඇත. "අද දවසෙහි ඔවුන්ගේ මුඛ මත මුද්‍රා තබන්නෙමු.ඔවුන් කරමින් සිටි දේවල් ගැන ඔවුන්ගේම අත් අප සමග කතා කරන්නේය. තවද, ඔවුන්ගේම පාදයන් ඒ සඳහා සාක්ෂි දරන්නේය" (කුරානය 36:65).
විනිශ්චය දිනයේ ඇති පිඩාව ඉවසා ගැනීමට නොහැකිව මිනිසුන් කණ්ඩායම් වශයෙන් රංචු ගැසී ආදම් තුමා වෙත ගොස් තමන් පත්ව සිටින වේදනාව ලිහිල් කරන මෙන් අල්ලාහ්ගෙන් ආයාචනා කරන ලෙස ඉල්ලා සිටිනු ඇත. එහෙත් ඔහු විසින් සිදු කල වරදක් නිසා කනස්සල්ලට පත්ව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔවුන්ට නූහ් නබි තුමා වෙත යන ලෙස පවසනු ඇත. ඔවුන් නබි නූහ් තුමා වෙත ගියත් එතුමා ද ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට නබි ඉබ්‍රාහිම් තුමා වෙත යන මෙන් පවසනු ඇත. එවිට ඔවුන් ඉබ්‍රාහිම් නබිතුමා වෙත ගියත් ඔහු මෙම පිරිස නබි මූසා වෙත යවන්නේය. ඔහුද එම ඉල්ලීමට සුදුසු නොවන බව කියා ජේසු තුමා වෙත යවනු ලැබුවත් අවසාන වශයෙන් මුහම්මද් නබි තුමා ඔවුන් වෙනුවෙන් "සුජුද්" හි වැටී ආයාචනා කිරීමට නියමිතය. ඒ අනුව මුහම්මද් නබිතුමා විසින් නිරයට පාත්‍ර වූ විශාල පිරිසකට ස්වර්ගයට වරම ලබා දෙන්නේය.
ස්වර්ගයට යා යුත්තේ නිරය මතින් වැටී ඇති පාලමක් මතින් ය. ඇතැම් අය ආලෝකයේ වේගයෙන්ද තවත් පිරිසක් ශබ්දයේ වේගයෙන්ද ඇතැම් අය දනගාමින් ද ඉන් එගොඩ වීමට නියමිතය. එහෙත් සමහර අය පය ලිස්සා නිරයට ඇදී වැටෙනු ඇත. මෙම පාලම අසලදී එක් කණ්ඩායමක් ස්වර්ගයට යන අයව නවතා මෙලොවදී ඔවුන්ගෙන් සිදු වනු වැරදි වලට වන්දි ඉල්ලා සිටිනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස උහද් කන්ද තරම් කුසල් රැස්කරගෙන පැමිණි අයගේ කුසල් වන්දි ගෙවිමෙන්ම අහෝසි වනු ඇත. තව දුරටත් වන්දි ගෙවීමට කුසල් නොමැති විට අකෙන් අයගේ අකුසල් භාර ගැනීමට සිදු වේ. මේ හේතුවෙන් ස්වර්ගයට නියම වූ ඇතැම් අය නිරයට යන්නේය. නබිතුමා මොවුන්ව හැඳින් වුයේ නියම බංකලොත් කාරයින් ලෙසයි.
බොහෝ අය ජිවත් වන්නේ මරණයෙන් පසු නැවත නැගිටවිමක් හෝ තමන් මෙලොවදී කල දේවල් ගැන ප්‍රශ්න කිරීමක් හෝ සිදු නොකරන බව සිතාගෙන ය. එහෙත් එවැනි දෙයකට ඔවුන්ට මුහුණ පෑමට සිදු වුයේ නම් කුමක් කරන්නේද?
By Fasy Ajward. B.Sc (PhysicsSpecial) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment