ඉස්ලාමයේ "තව්හීද්" යන්නෙහි තේරුම කුමක්ද? (What is the meaning of "Tawheed" in Islam?)




තව්හීද් යනු අරාබි පදයකි, එය බොහෝ විට "ඒක දේවවාදය" ලෙස පරිවර්තනය කොට ඇත. විශේෂයෙන්ම ඉස්ලාම් දහම තුල  එහි තේරුම වන්නේ අල්ලාහ්ගේ ඒකීයභාවය, අද්විතීයභාවය සහ සැසඳිය නොහැකි බව වේ. ඒ අනුව ඉස්ලාම් දහම තුල තව්හිද් යන්නෙන් අදහස් කරනු ලබන්නේ අල්ලාහ්ගේ ඒකීයභාවයයි. එනම් ඒක දේවවාදය පිළිබඳ නොබෙදිය හැකි ඒකීයත්වයයි. එය ඉස්ලාම් දහමෙහි කේන්ද්‍රීය හා තනි වැදගත්මක් ඇති සුවිශේෂී ලක්ෂණයකි. මුස්ලිම්වරයෙකුගේ සමස්ත ඇදහිල්ල එම විශ්වාසය මත රඳා පවතින්නේය. එම නිසා යම් කිසිවෙකු ඉස්ලාම් දහම වැළඳ ගන්නා විට 'ෂහාදා කලිමාව' නොහොත් අල්ලාහ්ගේ ඒකීයභාවය ප්‍රකාශ කල යුතුය. 

අල්ලාහ්ගේ ඒකීයත්වය ඉතා සංශිප්තව අල් කුරානය තුල මෙසේ  අර්ථ දක්වා ඇත. "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙන කිසිවෙක් නොමැත"(කුරානය 112:1-4). මෙම කුර්ආන් ජේදය ඉස්ලාම් දහමෙහි ඉතා වැදගත් තැනක් උසුලන්නේය. ඒ අනුව එය ඉස්ලාම් දහමෙහි හරය ලෙස සැලකිය හැකිය. 

අල් කුරානයෙන් අල්ලාහ්ගේ ඒකීයභාවය ඉතා පැහැදිලිව විස්තර කොට තිබියදීත් නබිතුමාගේ අභාවයෙන් පසු කලක් ගෙවී යාමේදී ක්‍රමක් ක්‍රමයෙන් අල්ලාහ්ට සමානයන් තැබීම ආරම්භ විය. මේ හේතුවෙන් එහි වැදගත්කම නැවත අවධාරණය කිරීම සදහා තව්හිද් යන නමින් සංවිදාන බොහොමයක් බිහිවිය. ඔවුන්ගේ එකම පරමාර්ථය මුස්ලිම්වරුන් අතර තිබෙන වැරදි විශ්වාසයන් නිවැරදි කිරීම වේ. මෙවැනි සංවිදානවල අවශ්‍යතාවය නබිතුමා ජිවත්ව සිටින කාලයේදී අවශ්‍ය නොවීමට හේතුව එදා සෑම මුස්ලිම්වරයෙකුම ඉස්ලාම් දහමේ මග පෙන්වීම අනුව ජිවත් වීම නිසාය. 

නබිතුමා දේශනා කල දහම අනුව මුස්ලිම්වරයෙකු ඍජුවම අල්ලාහ්ට නැමදිය යුතු අතර අල්ලාහ්ගෙන්ම ප්‍රර්ථනා කල යුතු වේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඇතැම් මුස්ලිම්වරුන් මළවුන්න්ගේ සොහොන් ආශ්‍රිතව උත්සව පවත්වා ඔවුන්ගේ මාර්ගයෙන් අල්ලාහ්ට ප්‍රාර්ථනා කිරීම ආරම්භ විය. එහෙත් ඉස්ලාමිය ඉගැනිව්ම් අනුව එය අල්ලාහ්ට සමානයන් තැබීමකි. එය ඉස්ලාමයේ මුලික විශ්වාසය කඩ කිරීමක් ද වේ. එබැවින් එය වැළැක්වීම මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන වගකීමකි. මේ සඳහා අද බොහෝ සංවිදාන බිහිවී තිබේ. එම සංවිදාන වල මුලික පරමාර්ථය ඉස්ලාම් දහම නිවැරදි ආකාරයෙන් මුස්ලිම්වරුන් අතර ප්‍රචාරය කිරීම වේ. 

ඇතැම් අය වරදවා සිතාගෙන ඉන්නේ මෙම සංවිදාන ත්‍රස්තවාදයට සම්බන්ද බවයි. එහෙත් එය සම්පුර්ණයෙන්ම වැරදි මතයකි. ඉස්ලාම් දහමටත් ත්‍රස්තවාදයටත් අතර කිසිම සම්බන්දයක් නොමැත. ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදීන් කරන්නේ ඉස්ලාම් දහමට පටහැනි ක්‍රියාවන් වේ. ඉස්ලාම් දහම අනුව හේතුවක් නොමැතිව කෙනෙකුව ඝාතනය කිරීම මුළු මහත් මිනිස් සංහතියම ඝාතනය කාලාට සමාන බව කුරානයේ සඳහන් කොට ඇත. ඒ අනුව ඔවුන්ට හිමි වන්නේ නිරය වේ.  ඉස්ලාමීය රාජ්‍යයක නම් ඔවුන්ට මරණ දඬුවම නියම කල යුතුය. 

මුස්ලිම් නොවන ඇතැම් අය අරාබි භාෂාවට අනිසි බියක් දක්වති. එහෙත් එම බියවිමේ කිසිම පදනමක් නැත. මුස්ලිම්වරුන්ට අරාබි භාෂාව වැදගත් වන්නේ එම දහම අරාබියාවෙන් පැමිණි නිසා නොව අල් කුරානය අරාබි භාෂාවෙන් පහල වූ නිසාය. මේ නිසා සෑම මුස්ලිම් නිවසකම අරාබි භාෂාවෙන් ලියැවුණු කුරානයක් අනිවාර්යයෙන්ම තිබේ. තවද කුරානයේ පරිවර්තනයක් කුරානයට සම නොවන නිසා නිවැරදිව ඉස්ලාම් දහම තේරුම් ගැනීම සඳහා අරාබි භාෂාව හැදෑරිය යුතුය. ඒ සඳහා අරාබි පාසල් අවශ්‍ය වේ. එහෙත් ඇතැම් අය එය වරදවා තේරුම් ගෙන ඇත. මෙසේ ලිවීමට හේතු වුයේ ද එක්තරා ගුවන් මගියෙක් යානය තුල අල් කුරානය පාරායනය කිරීම නිසා ඔහුව ත්‍රස්තවාදියෙකු යැයි සැක කොට අත්අඩංගුවට ගෙන පැය ගණනාවක් ප්‍රශ්න කොට මුදා හැරීමේ සිද්ධියක් නිසාය. ඇත්ත වශයෙන්ම එය ඉතා කනගාටුදායක තත්වයකි. 

සෑම ජාතියකම වැරදි කරන අය සිටින්නේය. ඒ අනුව මුස්ලිම්වරුන් අතරත් වැරදි කරන අය සිටීම පුදුමයක්  නොවේ. එහෙත් පුදුමය නම් මුස්ලිම්වරුන් කරන වැරදි පමණක් ඉස්ලාම් දහම සමග ආඳා ගැනීමයි.  


By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura. 
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)