මිනිසුන් වරින් වර මහත් පීඩාවන්ට මුහුණ දෙන්නේ ඇයි? (Why do people suffer so much from time to time?)



ඉතිහාසය දෙස බලන කල මිනිසා නොයෙකුත් දේව පරීක්ෂාවන්ට සහ දඬුවම් වලට ලක්වී තිබේ. කෙසේ වෙතත් දෙවියන් දඬුවම් කිරීමට පෙර මිනිසාට අවවාද කරන්නේය. එම අවවාද නොතකා කටයුතු කිරීමේදී ඔවුන් දෙවියන්ගේ දැඩි දඬුවම් වලට ලක්වී තිබේ. මේ සඳහා බොහෝ උදාහරණ කුරානයේ සහ බෛබලයේ දැකිය හැකිය. 

නුහ් නබිතුමා ඔහුගේ ජනතාවට වසර 950කට වඩා අවවාද කරනු ලැබුවත් ඔවුන් එය පිළිගත්තේ නැත. එම නිසා නුහ් නබිතුමා ඔවුන්ට එරෙහිව ප්‍රාර්ථනා කළේය. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් මහා ජල ගැල්මකින් විනාශයට පත් විය. අදටත් එහි නටබුන් දැක ගත හැකිය. එසේම ලුත් නබිතුමාගේ කාලයේ ජිවත් වූ ජනතාව සම ලිංගික සේවනයේ හැසිරුනෝය. ලුත් නබිතුමා ඔවුන්ට කොපමණ අවවාද කලත් ඔවුන් කරමින් සිටි එම වරද අත්හැරියේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස එම ජනතාවට එරෙහිව මහා ගල් වරුසාවක් වස්සවා විනාශයට පත් කොට ඇත. ෂුහෙයිබ් නබිතුමාගේ කාලයේ ජිවත් වූ ජනතාව කිරුම් මිනුම් වලින් අසරණ ජනතාවට අසාධාරනකම් කළෝය. එසේ තිබියදී ෂුහෙයිබ් නබිතුමා ඔවුන්ට කල අවවාද ඔවුන් පිළිගත්තේ නැත. එම නිසා සැඩ සුළඟකින් එම ජනතාව විනාශයට පත් විය. 

කෙසේ වෙතත් සෑම පරික්ශාවක්ම දෙවියන්ගේ දඬුවමක් නොවේ. ඒවායින් බොහොමයක්ම දෙවියන්ගේ කරුණාව නිසා දෙනු ලබන අවවාදයන් වේ. මේ නිසා මිනිසා ඒවායින් පාඩමක් ඉගෙන ගත යුතුය. මෙම සුළු දඬුවම් වලින් පාඩමක් ඉගෙන නොගත්තේ නම් මරණයෙන් පසු දැඩි දඬුවම්  ලබා දීමට නියමිතය. එම දඬුවම්වල අවසානයක්ද නැත. 

වර්තමාන සමාජය ගත් කල ඉහත සඳහන් කල සෑම වැරැද්දක්ම අඩු වැඩියෙන් දැක ගත හැකිය. ඇතැම් රටවල්වල සමලිංගික සේවනය නීතිගත කොට ඇත. අනාචාරයේ හැසිරීම කලාවක් බවට පත්ව ඇත. වංචාව සහ දුෂණය සාමාන්‍යකරණය වී ඇත. ඒ හැරුණු විට ධනවතුන් දුප්පතාගේ ලේ උරා බොන්නේය. නිසි ආහාර වේලක් සොයා ගැනීමට නොහැකිව සිය දහස් ගණන් මිනිසුන් හාමතේ ජිවත් වන්නෝය. එසේ තිබියදී තවත් පිරිසක් පමණ ඉක්මවා සුකොපබෝගී ජිවිත ගත කරන්නෝය. ඔවුන්ට දෙවියන් නියෝග කොට ඇති දිළිඳු බද්ද (zසකාත්) නිසි පරිදි ගෙවන්නේ නැත. මෙවැනි තත්වයක් තිබෙන විට දෙවියන් දඬුවම් කොකර සිටිවිද? 

අද නබිවරයෙක් ජිවතුන් අතර නැත. එහෙත් මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය කිසිම වෙනසකට ලක් නොවී අප අතර තිබේ. එසේම නබිතුමාගේ වදන් ඉතා ආරක්ෂාකාරීව ලේඛන ගත කොට අප අතර තිබේ. මේ නිසා දෙවියන්ගේ නියෝග අපට හැදෑරීමට හැකියාව ලැබී ඇත. තවද පරිගණක සහ අන්තර්ජාල පහසුකම් නිසා ඒවා ඉතා පහසුවෙන් දැනගැනීමටද පහසුකම් තිබේ. එසේ තිබියදීත් මිනිසා තම ආශාවන් දේවත්වයෙන් සලකා ඒවා පසු පස යන්නේ නම් දෙවියන්ගේ දඬුවම් පහළ වීම පුදුමයක් නොවේ. 

ලෞකික දියුණුව නිසා මිනිසා දෙවියන්ගෙන් ඈත්වී ඇත. තවද මිනිසා සිතාගෙන සිටියේ ඕනෑම අභියෝගයක් විද්‍යාවෙන් ජය ගත හැකි බවයි. එසේ තිබියදී අද අපි මුහුණ දෙමින් සිටින වෛරසය හමුවේ මිනිසා අන්ද මන්ද වී ඇත. ලෝකයේ ඉතා දියුණු යැයි සිතාගෙන සිටි ඇමරිකාව, එංගලතය, චීනය, රුසියාව, ප්‍රන්සය, ජර්මනිය, ජපානය, ඉස්රායලය වැනි රටවල් පවා අද එම වෛරසය හමුවේ දන ගසා ඇත. කෙසේ වෙතත් මෙය දෙවියන් විසින්ම ඉවර කරනු ඇත. එහෙත් මිනිසා ඉන් පාඩමක් ඉගෙන ගත යුතුය. 

දෙවියන් වරින් වර මිනිසාව පරීක්ෂාවන්ට ලක් කරන්නේ ඉන් පාඩමක් ඉගෙන ගැනීම සඳහා ය. එහෙත් බොහෝ අය ඒවා තේරුම් ගන්නේ නැත. ඇත්ත වශයෙන්ම සිදු විය යුත්තේ එම පරීක්ෂාවන්ට හේතු සොයා ඒවා නිවැරදි කර ගැනීම වේ. 


By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twitter:- thetrue_path 





Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)