මුනාෆික් වරුන්ගේ අවසානය කුමක්ද? (What is the end of the hypocrites?)


කුහකයින්ට අරාබි බසින් මුනාෆික්වරුන් යැයි කියනු ලැබේ. ඔවුන්ව කොටස් දෙකකට බෙදිය හැකිය. ඒ අනුව සමහර ඒවා සුළු කුහක කම් වන අතර තවත් සමහර ඒවා මහා කුහකකම් වේ. හිතා මතාම ව්‍යාජ ලෙස ඉස්ලාම් දහම වැළඳ ගැනීම විශාල වරදකි. අබ්දුල්ලා ඉබ්නු උබෙයි සහ ඔහු යටතේ සිටි කණ්ඩායම මේ සඳහා උදාහරණයට ගත හැකිය. අනෙක් අය ඉස්ලාම් දහම වැළඳ ගනු ලැබුවත් අල්ලාහ් ගැන හෝ මතු ජීවිතය ගැන හෝ ස්ථිර විශ්වාසයකින් කටයුතු කරන්නේ නැත. 

කුහකයින්ගේ ප්‍රධාන ලක්ෂණ තුනක් අලලා නබිතුමා පැවසූ හදිසයක් අබු හුරෛරා රලි තුමා මෙසේ පවසයි: මුහාෆික්වරයෙකුගේ ලක්ෂණ තුනකි, ඔහු කතාකරන විට බොරුවක්ම කියයි, ඔහු පොරොන්දුවක් දුන් විට එය කඩ කරයි, ඔහුව විශ්වාස කල විට විශ්වාස ද්‍රෝහිව හැසිරෙයි. (බුහාරි සහ මුස්ලිම්) මේවාට අමතරව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ මෙසේද සඳහන් වේ. එසේ තිබියදී ඔහු උපවාසය ද සලාතය හෙවත් නැමදුම ද ඉටු කරන අතර තමන් මුස්ලිම්වරයෙකු යැයි සිතා ගෙන සිටියි.

ඇතැම් කුහකයින් සම්බන්දයෙන් කුරානයේ ඉතා දැඩි ලෙස අනතුරු හඟවා තිබේ. "(ඕ නබි!) කුහකයෝ නුඹ හමුවට පැමිණි විට, 'නියත වශයෙන්ම නුඹ අල්ලාහ්ගේ දුතයා බවට අපි සාක්ෂි පවසමු'යි පවසන්නෝය. නියත වශයෙන්ම නුඹ ඔහුගේ දුතයා යැයි අල්ලාහ් හොඳින් දන්නේය. ඇත්තෙන්ම මෙම කුහකයින් බොරුකාරයින් වේ යැයි අල්ලාහ් සාක්ෂි පවසයි" (කුරානය 63:1). මෙය කුහක කමේ ඉතා පහත්ම අවස්ථාව වේ. ඒ අනුව නොදැනුවත් කම නිසා සිදුවන කුහක කමට වඩා දැන දැනම කරන මෙවැනි කුහක කම් වලට මතු ජීවිතයේදී සමාව ලැබෙන්නේම නැත. 

එවැනි මුනාෆික්වරුන්ට මරණයෙන් පසු දැඩි ලෙස දඬුවම් කරන්නේය. “සත්‍යවශයෙන්ම මුනාෆික්වරු නිරයේ පහලම කොටසට ඇතුලත් වන්නෝය; ඔවුන්ට උදව් කිරීම සඳහා කිසිවෙකු සොයාගැනීමට හැකි වන්නේ නැත” (කුරානය 4:145). අල් කුරානයේ තවත් තැනක මෙසේද සඳහන් කොට ඇත. "කුහකයින් වන පිරිමින් සහ ගැහැනුන්, එකිනෙකාට සම වෙති; ඔවුන් අයහපත් දේ අනකරමින් යහපත් දේ කිරීමෙන් වළක්වති. ඔවුන් අනුන්ට උදව් කිරීමෙන් වැලකී තම අත් මොලවා ගනිති. තවද ඔවුන් අල්ලාහ්ව අමතක කළහ. එබැවින් ඔහුද ඔවුන්ව අමතක කළේය. නියත වශයෙන්ම කුහකයින් පව්කාරයෝ වෙති" (කුරානය 9:67). 

ඇතැම් උදවිය බලය ලබා ගැනීම සඳහා ජනතාව රවටන්නේය. එසේම ජනතාවට බොරු පොරොන්දු දෙන්නේය. ඒ අතරම මුස්ලිම් වරුන් ලෙස පෙනී සිටින්නේය. මෙය ඉස්ලාම් දහම අනුව බලවත් වරදකි. එවැනි අය නිසා ඉස්ලාම් දහම ගැන වැරදි චිත්‍රයක් ගොඩ නැගීමට ඉඩ තිබේ. එබැවින් එම ගති ලක්ෂණ ඇති කිසිවෙකු ජනතා නායකයින් ලෙස හෝ මස්ජිදයේ භාරකාරත්වයට හෝ පත් නොකළ යුතුය. මෙම හදිසයෙන් ඒ බව සඳහන් කොට ඇත. හුසෛෆා රලි තුමා නබිතුමාගේ හදිසයක් මෙසේ විස්තර කරයි: කුහකයින්ව ඔබගේ නායකයින් ලෙස ආමන්ත්‍රණය නොකරනු, ඇයිද යත් යම් විදියකින් ඔවුන් ඔබගේ නායකයින් වුයේ නම් ඔබලා අල්ලාහ්ගේ අප්‍රසාදයට ලක්වනු ඇත (අබු දාවුද්). 

මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම මුනාෆික් කම නොහොත් කුහකත්වයෙන් මිදීමට සෑම ක්‍රියා මාර්ගයක්ම ගත යුතුය. ඒ අනුව අල්ලාහ් වෙනුවෙන් ඉටු කරනු ලබන සලාතය ද උපවාසය ද අනෙකුත් කුසල් ක්‍රියාවන් ද ඉතා පිරිසිදු චේතනාවෙන් අල්ලාහ් වනුවෙන්ම පමණක් ඉටු කල යුතුය. ඒ හැරුණු විට ගනු දෙනු කිරීමේදී අවංක භාවය පවත්වා ගත යුතුය. විශේෂයෙන්ම වෙළඳාම් කිරීමේදී සත්‍ය කතා කල යුතුය. බොරු දිවුරුම් නොකළ යුතුය. චෙක් පත් ගනු දෙනු වලදී කලට වෙලාවට ඒවායේ ගනු දෙනු පියවිය යුතුය. එසේ නොකරන්නේ නම් මුනාෆික් වරයෙකුගේ ලක්ෂණ ඔහු සතුව තිබෙන බව දැක ගත හැකිය. එවැනි අයට මතු ජීවිතයේදී කුමක් විය හැකි දැයි සිතා බැලිය යුතු නොවේද? 

By Fasy Ajward.B.Sc(Phy.Sp)Hons.Japura,

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)