ඉස්ලාම් යනු කුමක්ද? (What is Islam?)


"ඉස්ලාම්" යන අරාබි වචනයට බොහෝ අර්ථයන් තිබේ. ඉන් කියැවෙන්නේ සාමය, පාරිශුද්ධත්වය සහ අල්ලාහ්ගේ කැමැත්තට කීකරු වීම වේ. එම වචනය අරාබි මූල වචනයක් වන "ස-ලා-මා" වලින්  උපුටාගෙන ඇත.  ඉස්ලාම් දහම ආරම්භ වන්නේ ආදම්තුමාගෙන් ය. එය කෙළවර වන්නේ ලොවට අවසාන වශයෙන් පැමිණි වක්තෘවරයා වන මුහම්මද් නබි තුමාගෙන් ය. මේ නිසා ලෝකයේ ඇති ඉපැරණිතම ආගම ඉස්ලාම් ය.

ආදම්තුමාටත් මුහම්මද් නබිතුමාටත් අතර තවත් නබිවරු සියදහසකට වඩා පැමිණ තිබේ. ඇතැම් නබිවරුන් එක් ගමකට ද ඇතැම් නබිවරුන් එක්  ප්‍රදේශයකට ද ඇතැම් නබිවරුන් සීමිත ජන කොට්ඨාසයකට ද වශයෙන් පැමිණ ඉස්ලාම් දහම ප්‍රචාරය කොට තිබේ. එහෙත් මුහම්මද් නබි තුමා ලෝකවාසීන් සියලු දෙනා වෙනුවෙන් පැමිණි නබිවරයෙකි.

මුහම්මද් නබි තුමාට කලින් ජේසු තුමා පැමිණ ඉන්ජිල් හෙවත් බයිබලය ද ඔහුට කලින් මෝසස් තුමා පැමිණ තව්රාත් හෙවත් බයිබලයේ පැරණි ගිවිසුම ද ප්‍රචාරය කොට තිබේ. මුහම්මද් නබි තුමාට පහළ වුයේ අල් කුරානයයි.  ඒ අනුව මුහම්මද් නබි තුමාට පහළ වූ  දහමේ ප්‍රධාන මුලාශ්‍රයන් වන්නේ අල් කුරානය සහ මුහම්මද් නබි තුමාගේ මග පෙන්වීම වේ. 

ඉස්ලාම් දහමේ පුජක පක්ෂයක් නොමැති වීම විශේෂත්වයකි. ඒ අනුව මුහම්මද් නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමේ වගකීම ඉස්ලාමිය විද්වතුන්ට පැවරෙන්නේය. 

මුස්ලිම්වරයෙක් පහත දැක්වෙන කරුණු තරයේ විශ්වාස කල යුතුය. ඉන් එකක් හෝ විශ්වාස නොකරන තැනැත්තා මුස්ලිම්වරයෙකු නොවේ.
  1. අල්ලාහ් ගැන විශ්වාස කිරීම
  2. දේවදුතයින් ගැන විශ්වාස කිරීම
  3. අල්-කුරානයට පෙර පහළවූ ආගම් ගැන විශ්වාස කිරීම
  4. නබිවරුන් ගැන විශ්වාස කිරීම
  5. ලෝකය අවසාන වූ පසු ස්ථාපනය කරනු ලබන විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම සහ
  6. සෑම දෙයක්ම අල්ලාහ්ගේ කැමැත්තට යටත්ව සිදුවන බව විශ්වාස කිරීම යනාදිය වේ.

මුස්ලිම්වරයෙක් පහත දැක්වෙන කරුණු ඉටු කල යුතුය. 

  1. "ෂහාදාව" එනම් අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නැති බවත් මුහම්මද් නබිතුමා ඔහුගේ වක්තෘවරයා බවත් විශ්වාස කොට එය මුවින් ප්‍රකාශ කිරීම. 
  2. දෛනිකව පස්වතාවක් සලාතය ඊට නියමිත වෙලාවන්හිදී ස්ථාපනය කිරීම.
  3. ධනවතුන් විසින් වාර්ෂිකව ඔවුන්ගේ වස්තුව වෙනුවෙන් ගෙවිය යුතු සකාත් ගණන් බලා ඒවා ලැබීමට සුදුසුකම් ඇති අයට ලබා දීම.
  4. සෑම වර්ෂයකදීම රමළාන් මාසය පුරා උපවාස කිරීම. 
  5. හජ් වන්දනය ඉටු කිරීම 
යම් වැරැද්දක් සිදු වන විට එය වැළැක්වීම සියලුම මුස්ලිම්වරුන්ගේ වගකීමකි. ඒ අනුව එම වැරැද්ද අතින් වැළැක්වීමට හැකියාව තිබේ නම් එය අතින් වැළැක්විය යුතුය. එසේ කිරීමට ශක්තියක් නොමැති නම් වචනයෙන් වැළැක්විය යුතුය. ඊටත් ශක්තිය නොමැති නම් එම වැරැද්ද සිතින් පිළිකුල් කල යුතුය. එය මුස්ලිම්වරයෙකුගෙන් බලාපොරොත්තු වන අවම ක්‍රියාව වේ. 

ඉස්ලාම් දහම තුල කුල බේද, වර්ණ බේද කිසිවක් නැත. එම නිසා සියල්ලෝටම සමාන අයිතිවාසිකම් හිමිවේ.  නබි තුමා ඔහුගේ අරෆා දේශනයෙන් මෙසේ පැවසුවේය. "අරාබි ජාතිකයා අරාබි නොවන්නාට වඩා උතුම් වන්නේ නැත. එසේම අරාබි නොවන්නා අරාබි ජාතිකයාට වඩා උසස් වන්නේද නැත, සෑම කෙනෙකුම ආදම්ගේ දරුවන්ය. ඔවුන් සියලුදෙනාම මැටියෙන් මවා ඇත". "ඔබගේ ජීවිතය සහ වස්තුව එකිනෙකා අතර පුණ්‍ය දේවල් වන අතර ඒවාට අනතුරු නොකළ යුතු ය. ඒවා මෙම පුණ්‍ය සුල් හජ් මාසය සහ පුණ්‍ය අරෆා දිනයට සමානය. තවද ඔබව, ඔබගේ අධිපති දෙවියන් ඉදිරියට කැඳවනු ඇත. එම දිනයේදී ඔබගේ සෑම ක්‍රියාවක් ගැනම ඔහු ඔබගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය"

කෙසේ වෙතත් ඉස්ලාම් දහම ගැන ජනමාද්‍ය වලින් බොහෝ බොරු ප්‍රචාරයන් සිදු කෙරෙන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම් නොවන බොහෝ අයට ඉස්ලාම් දහම ගැන නිවැරදි තොරතුරු ලැබෙන්නේ නැත. එබැවින් යම් කෙනෙකුට ඉස්ලාම් දහම ගැන හැදෑරීමට අවශ්‍ය නම් මුස්ලිම්වරුන් විසින් ලියා පලකොට ඇති පොත්පත් හැදෑරිය යුතුය. නැතහොත් මුස්ලිම් විද්වතෙකුගෙන් ඉස්ලාම් දහම ගැන අසා දැනගත යුතුය. 
 
By Fasy Ajward.B.Sc (PhysicsSpecial) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twitter:- thetrue_path


Comments

Popular posts from this blog

මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)

දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)

අල්ලාහ් කවුද? (Who is Allah?)