ඉස්ලාම් සහ විද්‍යාව ( Islam and Science)


ඉස්ලාම් මිනිසාගේ ආරම්භය තරම්ම පැරණිය. එනම් එය ආරම්භ වන්නේ ආදම් නබි තුමාගෙන් ය. එහෙත් විද්‍යාව මිනිස් ශිෂ්ටාචාරයත් සමග ක්‍රමානුකුලව දියුණු වන්නකි. තවද විද්‍යාත්මක දැනුම පර්යේෂණ මත රඳා පවතින අතර ආගමික දැනුම දෙවියන්ගේ පණිවිඩ මගින් ලැබෙන්නේය. එම නිසා දෙවියන්ගෙන් පහළ වූ නිවැරදි දහමක් විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින්නේය. 

දහමින් මිනිසාව දෙවියන් සමග එකතු කරන්නේය. අනෙක් අතට විද්‍යාව දෙවියන්ගේ මැවීම් ගැන තේරුම් ගැනීමට උදව් කරන්නේය. විශ්වය ගැන තේරුම් ගන්නා තරමට දෙවියන් පිලිබඳ මනා අවබෝදයක් ලැබිය හැකිය. මේ නිසා 20 වන සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් පවසන්නේ ආගමින් තොර විද්‍යාව අබ්බගාත බවත් විද්‍යාවෙන් තොර ආගම අන්ද බවත් ය. 

විද්‍යාව මිනිසාට ප්‍රයෝජනවත් වුවද විද්‍යාව සහ ඉස්ලාම් දහම අතර විශාල වෙනසක් තිබේ. විද්‍යාවෙන් ගනු ලබන නිගමන කාලයෙන් කාලයට වෙනස් වන්නේය. උදාහරණයක් වශයෙන් අතීතයේදී විද්‍යාඥයින් සිතා සිටියේ පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් විද්‍යාවේ දියුණුවත් සමග එම මතය දැන් වෙනස් වී ඇත. එවැනි තව බොහෝ දේවල් විද්‍යාවේ තිබේ. කෙසේ වෙතත් දෙවියන් පහළ කල අල් කුරානයේ ඇති කිසිම විද්‍යාත්මක සංකල්පයක් මෙතෙක් වෙනස් වී නොමැත. උදාහරණ වශයෙන් සුර්යයා ගමන් කරන බව, විශ්වයේ ප්‍රසාරණය, පෘථිවියේ හැඩය, අහස සහ පොළොව එකම ප්‍රභවයකින් හටගන්නා බව, කළලයේ විකසනය ආදිය පෙන්වා දිය හැකිය. අල් කුරානයේ සඳහන් මෙම විද්‍යාත්මක සංසිද්ධීන් මිනිසා විසින් සොයා ගනු ලැබුවේ 21 වන සිය වසේදීය. මේ අනුව ඉස්ලාම් දහම විද්‍යාවට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින්නේය. එපමණක් නොව විද්‍යාවට යම් සීමාවක් තිබුනත් ආගම එම සීමාවෙන් ඔබ්බට ගොස් මරණයෙන් පසු ජීවිතය ගැන විස්තර කරන්නේය. 

කිසිම දෙයක් ඉබේ ඇති නොවන බව පරම සත්‍යයකි. ඒ අනුව විශ්වය හෝ එහි ඇති කිසිම දෙයක් ඉබේ ඇතිවිය නොහැකිය. එසේ නම් විශ්වය සහ එහි ඇති සෑම සෑම දෙයක්ම යම් ඥානාන්විත දෙවිකෙනෙකුගේ මැවීමක් විය යුතුය. විද්‍යාත්මක සොයාගැනීම් අනුව විශ්වයේ ඇති සෑම දෙයක්ම එක් දෙවිකෙනෙකුගේ ඥානාන්විත මැවීමක් බව පෙනී යන්නේය. ලෝකයට පහළ වූ සෑම ප්‍රධාන අගමකින්ම පවසන්නේද විශ්වය එක් දෙවිකෙනෙකුගේ නිර්මාණයක් බවයි. අල් කුරානය මෙය සනාත කිරීමට තව බොහෝ කරුණු ඉදිරිපත් කොට තිබේ. 

විශ්වය පුරා ඇති භෞතික නීති තැනින් තැන වෙනස් නොවී තිබීමෙන් පෙන්නුම් කරන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. ඉස්ලාම් පවසන්නේත් විශ්වය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. මේ අනුව විද්‍යාව සහ ආගම අතර පොදු එකඟතාවයක් දැකිය හැකිය. එපමනක් නොව විශ්ව නියතයන් සියල්ලෙන්ම පෙන්නුම් කරනු ලබන්නේ විශ්වය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි.

විද්‍යාව කොතරම් දියුණු වුවත් මුල්ම ජිවය ඇතිවූ අන්දම හෝ විවිධ ජීවින් ඇතිවූ අන්දම ගැන මෙතෙක් විස්තර කිරීමට හැකිවී නැත. මේ සඳහා ඩාවින් සහ ලමාක් වැනි දාර්ශනිකයින් වාදයන් ඉදිරිපත් කර තිබුනත් ඒවා නවීන විද්‍යාව අනුව ප්‍රත්ක්ෂේප වෙමින් පවතින්නේය. ඩාවින්ගේ වාදය සනාථ කිරීමට තරම් පොසිල හමු නොවීම එම මතය ඉවත දැමීමට එක් ප්‍රධාන හේතුවකි. මේ බව ඩාවින් විසින්ම පිළිගෙන ඇත. උදාහරණයක් ලෙස මෝටර් රථයක් සබ්මැරීනයක් බවට පත් කිරීමට නම් කළ යුතු වෙනස්කම අති විශාලය. එලෙසම ජලජ ජීවියෙකු ගොඩබිම් ජීවියෙකු බවට පරිනාමනය වීමේදී එම ජීවින් අතර අතරමැදි අවස්ථා විශාල ප්‍රමාණයක් හමු විය යුතුය. උදාහරණයක් වශයෙන් මාලුවෙක් හරකෙකු බවට පරිණාමනය වීම සනාථ කිරීමට නම් ඒ අතර සිටින ජීවීන්ගේ විශාල ප්‍රමාණයක් පොසිල හමු විය යුතුය. එහෙත් එවැනි සංක්‍රාන්ති අවස්ථා පිලිබඳ පොසිල මේ මිහි තලය තුල මෙතෙක් සොයාගෙන නැත. 

DNA පිලිබඳ සොයා ගැනීම අල්ලාහ්ගේ පැවැත්ම සනාත කිරීමට කදිම අවස්ථාවකි. එවැනි දෙයක් ඉතා ඥානාන්විත දෙවි කෙනෙකුගේ ක්‍රියාවක් මිස ඉබේ සිදු විය හැකි දෙයක් නොවේ. DNA අනුවක අන්තර්ගත වන දත්ත පරිගනකයකට වඩා අතිශයින්ම සංකීර්ණ ක්‍රමයකට කියවිය හැකි ආකාරයට ගබඩා කොට තිබීමෙන් එය තවත් හොඳින් තහවුරු වන්නේය. එක් DNA හෙලික්සයක ඈති දත්ත ලිවීමට පිටු 500 යේ පොත් දාහකට වඩා අවශ්‍ය බව විද්‍යාඥයින් විශ්වාස කරති. මෙවැනි නැනෝ තාක්ෂංක සිදුවීමක් කිසිසේත්ම ඉබේ ඇතිවිය නොහැකිය. 

අල් කුරානයද අල්ලාහ්ගේ පැවැත්ම ඉතා හොඳින් තහවුරු කරන්නේය. එය අල්ලාහ්ගේ පණිවිඩයකි. එවැනි ග්‍රන්ථයක් මෙතෙක් කිසිවෙකුට සම්පාදනය කිරීමට හැකිවී නොමැත. මින් පැහැදිලි වන්නේ අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බවයි. එමගින් මිනිසාට මෙලොව ජීවිතය සහ මරණයෙන් මතු ජීවිතය සාර්ථක කරගැනීමට මඟ පෙන්වා දෙන්නේය. 


By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)