හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා (Hajj and Prophet Ibrahim)


හජ්වන්දනය සහ වසර පන්දාහකට පමණ පෙර ජීවත්වූ ඉබ්‍රාහිම් නබිතුමාගේ ජිවිත කතාව අතර විශාල සම්බන්දයක් තිබේ. ඒ අනුව, හජ් වන්දනාව මගින් පිළිබිඹු වන්නේ අල්ලාහ් වෙනුවෙන් නබි ඉබ්‍රාහිම් සහ ඔහුගේ පවුලේ අය කළ අරගලයයි. මෙම වන්දනය ඉස්ලාම් දහමින් නියම කොට ඇති අනිවාර්ය කරුණු අතරින් පස්වැනි තැනට පත් වන්නේය.

ඉබ්‍රාහිම් නබි තුමාගේ නම හැටනම වතාවක් අල් කුරානයේ සඳහන් වේ. ඔහුට අල්ලාහ්ගේ මිතුරා යන අනවර්ථ නාමයෙන්ද තිබේ. එතුමාගේ උපන් ගම ඉරාකය යි. ජේසු තුමා සහ මුහම්මද් නබි තුමා යන දෙදෙනා එතුමාගේ පරම්පරාවෙන් පැවත එන්නේය. 

මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන දේවස්ථානය වන මක්කාවේ පිහිටි කව්බාව මුලින්ම ප්‍රතිනිර්මාණය කළේ ඉබ්‍රාහිම් සහ ඔහුගේ පුත්‍ ඉස්මායිල් යන නබිවරුන් දෙදෙනා විසින් ය. එම දේවස්ථානය නිර්මාණය කල පසු ඉබ්‍රාහිම් නබිතුමා අරෆා කන්දට නැග හජ් වන්දනය සඳහා ලෝක වාසි ජනතාවට අරාධනා කළේය. එහි ප්‍රතිපලයක් ලෙස වසරක් පාසා මිලියන සංඛ්‍යාවක් වූ ජනතාව  හජ් වන්දනය සඳහා මක්කාවට යති. හජ් වන්දනයේදී සාතන් හට ගල් ගැසීම, සෆා සහ මර්වා කඳු ගැට දෙක අතර දිවීම, උලුහියා දීම යන සෑම කරුණක්ම ඉබ්‍රාහිම් නබි තුමා එදා කල දේවල් නැවත සිහි ගැන්වීමකි.

ඉස්මායිල් නබිතුමා උපදින විට ඉබ්‍රාහිම් නබි තුමාගේ වයස 80 ව ඉක්මවා තිබුනේය. ඒ අනුව එම ඉපදීමම හාස්කමක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත් අල්ලාහ් ඔහුට නියෝග කලේ හාජරා තුමියව සහ ඉස්මායිල් බිලිඳා කාන්තාරයේ දැනට කව්බාව තිබෙන තැන ගෙන ගොස් හරින ලෙසයි. එය ඉබ්‍රාහිම් නබි තුමා අල්ලාහ් කෙරෙහි තබා තිබුණු බිශ්වාසය උරගා බැලීමකි.

අල්ලාහ්ගේ නියෝගය පරිදි ඉබ්‍රාහිම් නබි තුමා සිය භාර්යාව සහ අලුත උපන් බිලිඳා කාන්තාරයට ගෙනගොස් හැරියේය. එසේ කල ඔහු නැවත පෙරලා පැමිණෙමින් සිටින විට හාජරා තුමිය ඉබ්‍රාහිම් නබිතුමාගේ නම කියමින් කෑ ගැසුවාය. එහෙත් ඔහු එම අවස්ථාවේදී ආපසු හැරී බැලුවේවත් නැත. එවිට හාජරා තුමිය "ඕ ඉබ්‍රාහිම් මේ අල්ලාහ්ගේ නියෝගයක් දැයි" විමසුවාය. එවිට ඔහු ඔව් යන අරුතෙන් තම හිස සොලවා සංඥා කළේය. එය දැකීමෙන් හාජරා තුමිය පැවසුවේ "එසේ නම් අල්ලාහ් අපව බලා ගනීවි" යනුවෙනි.

එසේ තිබියදී හාජරා තුමිය රැගෙන ගිය අහාර පාන දින කිහිපයකින් අවසාන විය. ඉන් පසු අල්ලාහ්ගේ උදව්ව මිස වෙන කිසිම දෙයක් නොවීය. කුස ගින්න නිසා ඇයගේ අලුත උපන් බිලිඳා ද හඬන්නට විය. එවිට ඇය අසල පිහිටි සෆා කඳු ගැටයට නැග ඒ අසලින් කව්රුන් හෝ යනවාදැයි බැලුවා ය. එහෙත් දිය පොදක් හෝ නැති එම කාන්තාරයේ කිසිවෙකු දැක ගත හැකි වුයේ නැත. ඉන් පසු ඇය අසල තිබුණු මර්වා  කඳු ගැටය වෙත දිව ගියේ කව්රුන් හෝ ඒ අසලින් යනවා දැයි බැලීම සඳහාය. මෙසේ ඇය හත් වතාවක්ම සෆා සහ මර්වා කඳු ගැට දෙක අතර දිව ගියාය. අවසානයේදී ඇයට දැක ගත හැකි වුයේ ඉස්මායිල් තුමාගේ පාදය අසලින් දිය උල්පතක් මතු වීමයි. එය දැකීමෙන් ඇය වහාම එම ස්ථානය වෙත ගොස් හිබ්රු බසින් "සම් සම්" යැයි පවසමින් එම උල්පත වටා වැලි එකතු කලාය. නබිතුමා පැවසුවේ එදා ඇය එම දිය උල්පත වටා වැලි එකතු කලේ නැතිනම් එය ගංගාවක් ලෙස ගලා බසිනු ඇති බවයි. මෙම උල්පතින් ලබා ගත් ජලය මගින් හාජරා තුමිය ඇයගේ තිපාසය පමණක් නොව ආහාරය ලෙසත් යොදා ගත්තාය. 

එදා මතුවූ ජල උල්පත අද සම් සම් ලිඳ බවට පත්ව තිබේ. එම සම්සම් ලිඳෙන් සාමාන්‍ය දිනකදී ජලය ලීටර 150,000 ක් පමණ පොම්ප කරන අතර හජ් උත්සව සමයේදී ලීටර 450,000 ක් පමණ පොම්ප කරන බව කියනු ලැබේ. කිසිම ගංගාවක් හෝ නොමැති කාන්තාරයේ පිහිටි එම ලිඳ ඇත්තෙන්ම විශ්මිත දෙයකි. 

මෙම සිදුවීමෙන් පසු ඉස්මායිල් නබි තුමාව අල්ලාහ් වෙනුවෙන් කැප කිරීමට ඉබ්‍රාහිම් නබි තුමා සිහිනයක් දුටුවේය. එම සිහිනය නැවත නැවත දින තුනක් තිස්සේ එක දිගටම දුටු බැවින් ඉබ්‍රාහිම් නබි තුමා තම පුත් ඉස්මායිල්ව අල්ලාහ් වෙනුවෙන් කැප කිරීමට තීරණය කළේය. ඒ බව තම පුත් ඉස්මායිල් හට සැල කල විට ඔහුට ඊට එකහෙලා එකඟ විය. 

ඉබ්‍රාහිම් නබිතුමා තම පුතු ඉස්මායිල්ව අල්ලාහ් වෙනුවෙන් කැප කිරීම සඳහා මීනා නගරය වෙත රැගෙන යන ගමනේදී සාතන් කිහිප විටක්ම ඊට බදා කළේය. ඒ සෑම විටම ඔහුව පලවා හැරීම සඳහා ඉබ්‍රාහිම් නබිතුමා ගල් වලින් ගැසුවේය. අවසානයේදී ඔහු තම පුතුව අල්ලාහ් වෙනුවෙන් කැප කිරීමට සුදානම් වූ විට ජිබ්රිල් නම් දෙවදුතයා පැමිණ ඔහුගේ එම ක්‍රියාව අල්ලාහ් පිළිගත් බව පවසා ඔහු ගෙනා බැටළුවා ඉස්මායිල් වෙනුවෙන් කැප කරන ලෙස නියෝග කළේය. අදටත් හජ් උත්සවයේදී මුස්ලිම් වරුන් විසින් උලුහියා ලෙස එම ක්‍රියාව සිදු කරන්නේය. 

එදා ඉබ්‍රාහිම් නබි තුමා සහ ඔහුගේ පවුලේ උදවිය විසින් සිදු කල බොහෝ දේවල් අද මුහම්මද් නබි තුමාගේ අනුගාමිකයින් විසින් හජ් වන්දනයේදී සිදු කරන්නේය. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)