ඉස්ලාමිය දික්කසාදය (Islamic Divorce)





විවාහය යනු නන්නාදුනන පිරිමියෙකු සහ කාන්තාවක් අතර සිදුකර ගන්නාවූ නිත්‍යානුකුල බැඳීමක් වුවද එය ඉස්ලාම් දහම අනුව ආගමික කටයුත්තකි. මේ නිසා මුස්ලිම්වරයෙකුගේ විවාහය මෙන්ම දික්කසාදය අල්කුරානය සහ නබිතුමා පෙන්වා දී ඇති රාමුව තුල තිබිය යුතුය. 

කෙනෙක් මොනතරම් බලාපොරොත්තු ඇතුව විවාහය සිදු කරනු ලැබුවත් ඇතැම් විට එම විවාහයන් හරි හැටි පැහෙන්නේ නැත. එවැනි අවස්ථාවකදී ඉස්ලාම් දහම දික්කසාදට ඉඩ ලබා දී තිබේ. දික්කසාද වීමේ අයිතිය පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයට ද එකසේ වලංගු වේ. කෙසේ වෙතත් ස්වාමිපුරුෂයා විසින් සිය භාර්යාව දික්කසාද කරන්නේ නම් විවාහ වන අවස්ථාවේදී ඔහු විසින් තම භාර්යාවට ලබා දුන් මහර් (විවාහවන අවස්ථාවේදී මනාලයා විසින් භාර්යාවට අනිවාර්‍යයෙන් ලබා දිය යුතු දීමනාව) කිසිවක් නැවත ලබා ගැනීම නොකළ යුතුය. එහෙත් භාර්යාව විසින් විවාහය අවලංගු කර ගන්නේ නම් ඇය විවාහ වන අවස්ථාවේදී ලබා ගත් මහර් දීමනාව නැවත සිය ස්වාමිපුරුෂයාට භාර දිය යුතු වේ. 
 
පවුල් ජිවිතයේ ප්‍රශ්න ඇති වූ විට පළමු පියවර ලෙස දික්කසාදය තෝරා ගැනීම නොකළ යුතුය. ඒ අනුව ඔවුන් අතර සාමය ඇති කිරීම සඳහා යම් උත්සාහයක් ගැනීමට පියවර ගත යුතුය. ඒ සම්බන්දයෙන් අල් කුරානය මෙසේ පවසයි.

“(අඹු සැමියන් වන) එම දෙදෙනා අතර වෙන්වීමක් සිදුවේ යැයි නුඹලා බිය වන්නේ නම්, ඔහුගේ පව්ලෙන් සහ ඇයගේ පව්ලෙන් තිරකවරුන් දෙදෙනෙකු, ඔවුනතර (සාමදානය ඇතිකිරීම) පිණිස පත්කරනු; මෙම දෙදෙනා එකඟතාවයක් සඳහා මනාපයක් දක්වන්නේ නම් අල්ලාහ් එම දෙදෙනා අතර එකඟතාවයක් ඇති කරන්නේය” (කුරානය 4:35).

මෙම වගන්තිය ක්‍රියාත්මක කරන්නේ නම් බොහෝ පවුල් ප්‍රශ්න විසඳා ගැනීමට හැකි වනු ඇත. කෙසේ වෙතත් එය අසාර්ථක වන අවස්ථාවකදී පමණක් දික්කසාදය සඳහා පියවර ගත යුතුව ඇත. 

ඉස්ලාම් දහම අනුව එක්වරම දික්කසාදය ලබා දෙන්නේ නැත. ඒ අනුව එය පියවර තුනකින් සිදු කෙරේ. එහෙත් ඇතැම් අය හදිසි කෝපය නිසා ත්‍රිත්ව දික්කසාකයක් එක වරම සිදු කරති. එසේ කරනු ලැබුවත් එය කුරානයේ ඇති නීති ප්‍රකාරව බලන කල වරදකි. තවද කාන්තාවකගේ ඔසප් කාලය තුලදී ඇය වෙනුවෙන් දික්කසාදය ලබා දිය නොහැකිය. ඉබ්නු උමර් රලි තුමා සිය භාර්යාවගේ ඔසප් කාලය තුලදී ඇයට පළමු දික්කසාදය සිදු කොට තිබේ. ඒ බව ඔහුගේ පියා වන උමර් රලි තුමා දැනගත් විට ඔහු අල්ලාහ්ගේ දුතයාණන් වෙත ගොස් ඒ සම්බන්දයෙන් කරුණු විමසා ඇත. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ පවසා ඇත්තේ එම දික්කස්සයදය වලංගු නොවන බවයි. ඒ අනුව ඔහු පවසා තිබෙන්නේ  ඇයගේ ඔසප් වීම නතර වී ඇය පිරිසිදු වීමෙන් පසු පළමු දික්කසාදය ලබා දෙන ලෙසය. ඉන් පසු ඇය නැවතත් ඔසප් වී පිරිසිදු වීමෙන් පසු දෙවන දික්කසාදය ලබා දෙන ලෙසය. කෙසේ වෙතත් තුන්වන දික්කසාදය ලබා දීමට පෙර ඔහු කැමති නම් ඇය සමඟ නැවත ජිවත් විය හැකිය. එසේ නැතහොත් ඇය සමඟ සංසර්ගයේ නොයෙදී ඇය තුන්වන වරට ඔසප් වී පිරිසිසු වීමෙන් පසු ස්ථිර ලෙස වෙන් විය හැකිය. 

 “දික්කසාද කරනු ලැබූ ස්ත්‍රීන් මාස් ශුද්ධි තුනක කාලයක් තමන් වෙනුවෙන් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. ඔවුන් අල්ලාහ්වද අන්තිම දිනයද විශ්වාස කරන්නියන් වේ නම් තමන්ගේ ගර්භාශයන්හි අල්ලාහ් මැවූ දේ සැඟවීම ඔවුනට සුදුසු නොවේ. ඔවුන් මේ අතරතුර යළි එක්වීමට ප්‍රිය කළේ නම් ඔවුන්ව නැවතත් කැඳවා ගැනීමට ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ට පුර්ණ අයිතිය ඇත්තේය” (කුරානය 2:228).
 
ඉහත සඳහන් කල ආකාරයට ස්වාමිපුරුෂයා පළමු දික්කසාදය ප්‍රකාශ කිරීමෙන් පසුවත් භාර්යාව සැමියාගේ නිවසේම රැඳී සිටිය යුතු බව කුරආන් නියෝගය වේ. එම කාලය තුලදී ඔවුන්ට අවශ්‍ය නම් නැවත එක්ව ජිවත් වීමට හැකිය. මේ හේතුව නිසා සාමාන්‍ය ඉද්දා කාලය තුලදී භාර්යාවට අලංකාරව ඇඳීම තහනම් වුවත් මෙම විශේෂ අවස්ථාවේදී එය බලපාන්නේ නැත. මේ සම්බන්දයෙන් ඇති කුර්ආන් නියෝගය මෙසේය. “(නැවතත් එක්කර ගත හැකි අයිතිය ඇති) දික්කසාදය දෙවතාවක්ය! පසුව නිසියාකාරව (ඔවුන්ව) රඳවා ගත හැකිය. නැතිනම් හොඳාකාරව නිදහස් කල හැකිය” (කුරානය 2:229). කෙසේ වෙතත් මෙම අවස්ථාවන් දෙකින් ප්‍රයෝජන නොගන්නේ නම් එම දෙදෙනා වෙන් විය යුතු බව කුරානයේ නියෝගය වේ. "නුඹලා බිරියන්ව (නැවත එක්කරගත හැකි) තලාක් පවසා ඔවුන්ගේ (ඉද්දා නමැති) කාල සීමාවේ අවසානය ලඟා වුයේ නම්, ඔවුන්ව නිසියාකාරව රඳවා තබා ගන්න. නැතිනම් හොඳාකාරව ඔවුන්ව නිදහස් කරන්න" (කුරානය 2:231).
අල් කුරානයේ ප්‍රසිද්ධ විවරණයක් වන ඉබ්නු කසීර්හි මෙම වැකිය තේරුම් කර දීමේදී පවසා ඇත්තේ යම් කෙනෙක් සිය භාර්යාව දික්කසාද කරන්නේ නම් ඇයට හොඳින් සැලකිය යුතු බවයි. තවද ඔහු, නැවත විවාහ කරගත හැකි ඉද්දා කාලය අවසාන වන විට ඇයව නැවත අත්කර ගන්නේ නම් එය සාක්ෂි සහිතව සිදු කර ගත යුතු වේ. ඔහු සිය භාර්යාව ස්ථිර වශයෙන් දික්කසාද කරන්නේ නම් එම ඉද්දා කාලය අවසාන වූ පසු ඇයව කාරුණිකව සිය නිවසින් පිටත්කර හැරිය යුතු වේ.

කව්රු කෙසේ කීවත් ඉස්ලාමිය දික්කසාදය නිසා ඊට මුනුන දෙන පාර්ශවයන්ට වඩා සාධාරණ විසඳුමක් ලැබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ දික්කසාද වීම සඳහා විශාල කාලයක් ගත නොවීමයි. මේ හේතුවෙන් දික්කසාද වන පාර්ශවයන්ට අලුත් විවාහයක් සිදු කර ගැනීම සඳහා විශාල කාලයක් බලා සිටීමට අවශ්‍ය නොවේ. තවද ඉස්ලාමීය ක්‍රමය අනුව දික්කසාදයක් සිදු කිරීම සඳහා විශාල මුදලක් වැය වන්නේ නැත. මේ නිසා එකට ජිවත් වීමට නොහැකි දෙදෙනෙකුව බලහත්කාරයෙන් එකට බැඳ තැබීම වෙනුවට ඔවුන්ගේ මනාපය පරිදි වෙන්වීමට පහසු ඉඩක් ලැබෙන්නේය. 

By Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)