ඉස්ලාමයට අනුව සොහොන් ජීවිතය (Life in the grave according to Islam)


සෑම ජිවියෙකුටම මරණය නියතය. එම මරණයෙන් පසු සොහොන් ජිවිතයක් තිබේ. එහිදී සිදුවීමට නියමිත දේවල් පිළිබඳව ඉස්ලාම් දහම ඉතා පැහැදිලි විස්තරයක් ලබා දී තිබේ. එම සොහොන් ජිවිතයෙන් පසු  නැවත නැගිටවන අතර මිනිසා මෙලොවදී කල දේවල් පිළිබඳව විනිශ්චය කරනු ලැබේ. එම විනිශ්චයේ ප්‍රතිපල අනුව මිනිසාට ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය.  මෙය සැක කරන අයගෙන් අල්-කුරානය මෙසේ ප්‍රශ්න කරන්නේය. "මිනිසා කිසිත් නැතුව තිබියදී අපි ඔහුව මුලදී මැවූ බව ඔහු සිතා බැලිය යුතු නොවේද?" ඇත්තවශයෙන්ම අල්ලාහ්ට මිය ගිය මිනිසාව නැවත නගිටවිම පහසු කාර්යයකි.

මුල් වරට මව් කුසේදී මිනිසාට දේව දුතයින් විසින් ආත්මය ගෙනවිත් දුන් අකාරයටම මිනිසා මරණයට පත්වන අවස්ථාවේදී නැවතත් දෙවියන් නියම කොට ඇති දේවදුතයෙක් පැමිණ ඔහුගේ ආත්මය රැගෙන යාමට නියමිතය. මේ නිසා මිනිස් ජීවිතය එක් අවස්ථාවකින් තවත් අවස්ථාවකට මරුවනවා මිස එය කෙළවර වන්නේ නැත. ඒ අනුව කෙනෙක් ලෞකික ප්‍රශ්න වලට මුහුණ දීමට නොහැකිව සිය දිවි හානිකරගැනීම මුග්ධ ක්‍රියාවකි. ඇයිද යත් අල්ලාහ් කෙනෙකුට ලබා දුන් ජීවිතය විනාශ කර ගැනීමෙන් ඔහුගේ ප්‍රශ්න කෙළවර නොවන නිසාය. එවැනි අයට නිරයේදී ඔහු තම ජීවිතය විනාශ කරගත් අකාරයටම දඬුවම කරනු ලබන බව නබිතුමා පවසා ඇත.

මිනිසාගේ අවසන් කටයුතු සිදු කල වහාම ඔහුගේ සොහොන් ජීවිතය ආරම්භ වන්නේය. එක් හදිසයකට අනුව භූමදානය සඳහා පැමිණ සිටින අය එම ස්ථානයෙන් පිටත්වනවාත් සමගම දේවදුතයින් දෙදෙනෙකු පැමිණ එම තැනැත්තාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේය. ඒ අනුව එම තැනැත්තාගේ විශ්වාසය ගැනද, ඔහුගේ පරමාධිපති දෙවියන් ගැනද, ඔහුගේ ආගම ගැනද ඔහුගේ නබිවරයා ගැනද එම දේවදුතයින් ප්‍රශ්න කිරීමට නියමිතය. මෙම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දෙනු ලැබුවේ නම් ඔහුගේ සොහොන ඇසට පෙනෙන තරමට විශාල කරනු ලැබේ. නැතහොත් එම දෙවදුතයින් විසින් එම තැනැත්තාට පහර එල්ල කරනු ඇත. එවිට එම මිය ගිය තැනැත්තා නගන විලාපය මිනිසා හැර අනෙක් සියලුම සත්වයින්ට ඇසෙන බව නබිතුමා පැවසුවේය. තවද එම තැනැත්තාගේ සොහොන ඔහුගේ ඉල ඇට එකිනෙකට හාවෙන තරමට තෙරපනු ලැබේ.

සොහොනේදී අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය හැක්කේ මෙලොව ජීවිතයේදී ඊට සුදානම් වුවහොත් පමණි. එම නිසා පස්වෙල් සලාතය ඉටු නොකළ කෙනෙකුට ඔහුගේ දෙවියන් කව්රුදැයි අසු විට පිළිතුරු දීමට හැකි වන්නේ නැත. එසේම නබිතුමාගේ මග පෙන්වීම අනුව ජිවත් නොවූ කෙනෙකුට නබිතුමාව පෙන්වා ඔහු කව්රුදැයි ඇසු විට ඊට පිළිතුරු දීමට හැකි වන්නේ නැත. එවිට ඔවුන් පිළිතුරු දීමට නොහැකිව අසරණ වන්නේය.

සොහොනේ ප්‍රශ්න කිරීමෙන් පසු සෑම ආත්මයක්ම ආලමේ බර්සක් යන ස්ථානයේ රඳවා තබන්නේය. මෙහි ජීවිතය ආත්මයෙන් ආත්මයට වෙනස් වේ. ඒ අනුව ෂුහදාවරුන් අල්ලාහ් හමුවේ ජිවත් වන අතර ඔවුනට අල්ලාහ්ගෙන් ආහාර සපයා දෙන්නේය. නබිවරුන්ටත් එසේමය. එහි ජීවිතය ලෞකික ජීවිතය සමග සැසඳිය නොහැකි අතර එහි සත්‍යය තත්වය දන්නේ අල්ලාහ් පමණි. අල්-කුරානයේ ඇතැම් අය ගැන මෙසේ සඳහන් වන්නේය. "අල්ලාහ්ගේ මාර්ගයෙහි ඝාතනය කරනු ලැබුවන්ව මළවුන් යැයි නොපවසන්න. ඔවුහු ජීවමානව සිටිති. එහෙත් නුඹලා එය නොවටහාගන්නේහුය" (කුරානය 2:154). කුරානයේ තවත් තැනක මෙසේ පවසා ඇත. "අල්ලාහ්ගේ මගෙහි ඝාතනය කරනු ලබුවන්ව මළවුන් යැයි නියතව ඔබ නොසිතිය යුතුය. එසේ නොව, ඔවුහු තමන්ගේ පරමාධිපති හමුවෙහි ජීවමානව සිටිති. (ඔහු විසින්) ඔවුනට ආහාර දෙනු ලබති" (කුරානය 3:169). එක් හදිසයක දැක්වෙන අන්දමට විශ්වාසවන්තයින්ගේ ආත්මය විනිශ්චය දිනයේදී ශරීරය තුල දමන තෙක් කුරුල්ලෙකුගේ වේශයෙන් ස්වර්ගයේ සැරිසරන්නේය.

කෙසේ හෝ දෙවන වරට සුර් නම් නලාව පිඹීමෙන් පසු සියලුම ආත්මයන් ශරීරය තුලට ඇතුළු කොට නැවත නැගිටුවීමට නියමිතය. ඉන්පසු දේව විනිශ්චය සිදු කරනු ඇත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)