ඉස්ලාමය තුල අසල්වැසියාගේ යුතුකම් (Duties of a neighbor in Islam)



අපට අසල්වැසියන් සම්බන්දයෙන් සුන්දර ඉතිහාසයක් තිබුනත් දැන් දැන් එය නැතිවෙමින් තිබේ. එදා වැඩිහිටියන් පමණක් නොව අසල්වැසි ළමුන් පවා එකට ක්‍රීඩා කල කාලයක් තිබුනේය. එහෙත් දැන් ඒවා දැකිය හැක්කේ ඉතා කලාතුරකින්ය. මෙම පෙරළියට ප්‍රධාන හේතුව ලෞකික ජීවිතය ජය ගැනීම සඳහා කරන තරඟය යැයි කිව හැකිය. මෙම තරඟය නිසා අද බොහෝ අය යාබද නිවසේ සිටින පුද්ගලයාව හඳුනන්නේ නැත. ඔහු කෑවද බීවද කියා සොයා බලන්නේද නැත. ඇතැම් විට ඔහු නෑදෑයෙක් විය හැකිය. එහෙත් ඔවුන් සමග ආශ්‍රය කිරීම සඳහා වෙලාවක් නැත. මෙම තත්වය ඉස්ලාම් දහම කිසිසේත්ම අනුමත කරන්නේ නැත. මෙවැනි දේවල් නිසා මිනිසා දෙවියන්ගෙන් ඈත් වන්නේය. දෙවියන්ගෙන් ඈත්වන මිනිසාට කොපමණ වස්තුව තිබුනත් සතුටක් ලැබෙන්නේ කෙසේද? 

නබිතුමා එක් අවස්ථාවකදී එකම වාකිය කාණ්ඩය නැවත නැවත තුන්වතාවකම පැවසුවේය. "අල්ලාහ් කෙරෙහි දිව්රා කියමි, ඔවුන් විශ්වාස කලේ නැත! අල්ලාහ් කෙරෙහි දිව්රා කියමි, ඔවුන් විශ්වාස කලේ නැත!" ඊට සවන් දුන් සහාබාවරු "ඔවුන් කව්රුන්දැ"යි නබිතුමාගෙන් විමසුවෝය. එවිට නබිතුමා පවසා ඇත්තේ ඔවුන් තම අසල්වැසින්ට හිංසා කරන අය බවයි. එසේ තිබියදී අද පින් දහම් කරන කොපමණ අය මෙම වැරැද්ද කරනවා දැයි තමන්ම සිතා බැලිය යුතුව තිබේ. 

අසල්වැසියන් ගැන අල් කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත. "නුඹලා අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් සම නොකරන්න. තවද, දෙමව්පියන්, සමීප නෑයන්, අනාථයින්, දුප්පතුන්, නෑයන් වන අසල්වැසියන්, නෑයන් නොවන අසල්වැසියන්, සමීපයෙහි සිටින යහළුවන්, මගීන්, නුඹලාගේ වහලුන් යනාදීන් සමග හොඳාකාරව ක්‍රියා කරන්න. නියතව අල්ලාහ් අහංකාරකම පෙන්වා, උඩඟුවන්නන්ව ප්‍රිය නොකරන්නේය" (කුරානය 4:36).

නබිතුමාට දේව පණිවිඩ ගෙනෙන ජිබ්‍රිල් දේවදුතයා නබිතුමාව හමුවීමට පැමිණි සෑම අවස්ථාවකදීම අසල්වැසියන් ගැන පවසා තිබේ. මේ නිසා යම් දවසක ඔවුන්ට ප්‍රවේණිය උරුමයෙන් කොටසක් නියම කරනු ඇත්දැයි නබිතුමා කල්පනා කිරීමට විය. මෙතරම් දුරට අසල්වැසියා ගැන කියා තිබෙන නිසා අපට එය සුළුවට තැකිය නොහැක. 

අද බොහෝ අය අසල්වැසියාට ප්‍රේම කරනවා වෙනුවට ඔවුන් සමග අමනාප වන දේවල් වල නිරත වන්නේය. ඇතැම් අය තම නිවසේ කුණු කසල තබන්නේ අසල්වැසියාගේ නිවස ඉදිරිපිට ය. මේ නිසා ඇතැම් අවස්ථාවලදී බහින් වස් වීම පවා සිදු වන්නේය. එසේ තිබියදී නබි තුමා පවසා තිබෙන්නේ අසල්වැසියන් සමග තම නිවසේ පිළියෙළ කරන ලද ආහාර පවා බෙදා හදා ගන්නා ලෙසට ය. නබිතුමා වරක් මෙසේ පැවසුවේය. "තම අසල්වැසියා කුස ගින්නේ සිටින විට තම කුස පිරෙන්නට ආහාර ගත් තැනැත්තා විශ්වාසවන්තයෙක් නොවේ" 

ඉස්ලාම් දහම පවසන්නේ සෑම කෙනෙකුම ආදම්ගේ දරුවන් බවයි. එම නිසා එකිනෙකා අතර යුතුකම් තිබේ. එම නිසා කෙනෙක් කුමන ජාතියකට අයත් වුවත් ඔවුන් වෙනුවෙන් කල යුතු යුතුකම් ඉටු විය යුතුය. 

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twitter:- thetrue_path 

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)