ආගම සහ විද්‍යාව (Religion and Science)



ආගම සහ විද්‍යාව අතර ලොකු සම්බන්දතාවයක් ඇතත් විද්‍යාව භෞතික ලෝකයට පමණක් සිමා වන අතර ආගම ඉන් ඔබ්බට ගමන් කරන්නේය. මේ නිසා  විද්‍යාවෙන් නිවැරදි ආගමික විශ්වාසයට කිසිම හානියක් නැත. කෙසේ වෙතත් මේවා ගැන නිසි අවබෝදයක් නොමැති ඇතැම් අය විද්‍යාවේ දියුණුවත් සමග දහමින් ඈත්වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන්නේය. එහෙත් සෑම විද්‍යාඥයෙකුම අදේවවාදියෙකු නොවේ. විද්‍යාව ගැන මනා දැනුමක් ඇති බොහෝ විද්‍යාඥයින් ආගමක් අදහති. ඇත්ත වශයෙන්ම විද්‍යාව නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් භෞතික ලෝකය හොඳින් තේරුම් ගැනීමට හැකි වන අතර එමගින් කෙනෙකුගේ ආගමික විශ්වාසය වැඩි වන්නේය. 

ආගමට වඩා විද්‍යාවේ වපසරය කුඩා වන බැවින් විද්‍යාඥයින්ට විශ්වයේ ආරම්භය ගැන හෝ මුලින්ම ජිවය ඇතිවු අන්දම ගැන හෝ මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැත. කෙසේ වෙතත් භෞතික ලෝකය හොඳින් තේරුම් ගැනීම සඳහා විද්‍යාවෙන් විශාල කාර්ය භාරයක් සිදු වන්නේය. එය දෙවියන් පිලිබඳ විශ්වාසය තවත් ශක්තිමක් කර ගැනීමට ද ඉවහල් වේ. 

විද්‍යාඥයින්ට පර්යේෂණ කල හැක්කේ භෞතික ලෝකය පමණක් බැවින් ඉන් එහා ඇති දේවල් ගැන දැනගැනීම සඳහා ආගමක අවශ්‍යතාවය පැන නගින්නේය. එහෙත් එය කල හැක්කේ නිවැරදි ආගමකින් පමණි. මෙහි නිවැරදි ආගමක් යනුවෙන් අදහස් කලේ මිනිසා විසින් වෙනස් නොකරන ලද එහෙත් දෙවියන්ගෙන් පහළ වූ ආගමක් ය. නිවැරදි ආගමක් තුල අවිද්‍යාත්මක කරුණු ඇතුලත් විය නොහැකිය. 

සත්ව ලෝකය දෙස බලන කල මිනිසා බුද්ධිමත්ම ජීවියා ය. එහි කිසිම තර්කයක් නැත. ඒ අනුව මිනිසාට යමක් විශ්වාස කිරීම සඳහා ඔහුගේ බුද්ධිය හොඳටම ප්‍රමාණවත් වේ. එසේ තිබියදී යම් දෙයක් ඇස්වලින් දැකීමෙන්ම පමණක් විශ්වාස කරන්නේ නම් එය මිනිස් කමට සුදුසු නොවේ. ඇයිද යත් ඇස්වලින් දැකීමෙන් පසු විශ්වාස කිරීම මිනිසාට වඩා බුද්ධියෙන් අඩු තිරිසන් සත්වයින්ගේ ක්‍රියාවක් වන නිසාය.

මිනිසාට ලැබී ඇති බුද්ධියෙන් යමක් නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන ශාක්ෂි වලින් සත්‍යය තේරුම් ගැනීමට හැකි විය යුතුය. එවැනි දෙයක් කල නොහැකි නම් මිනිසා සෙසු ජිවින්ට සමාන වන්නේය. මේ නිසා විශ්වය ගැන අධ්‍යයනය කිරීමෙන් ලැබෙන සාක්ෂි වලින් එය යම් කිසි ඥානාන්විත දෙවි කෙනෙකු විසින් මවා ඇති බව නිගමනය කල හැකි විය යුතුය. විද්‍යාවෙන් කෙරෙන්නේ දෙවියන්ගේ මැවීම් ගැන පර්යේෂණ කිරීමයි. එබැවින් දෙවියන්ව තේරුම් ගැනීම සඳහා විද්‍යාව ප්‍රයෝජනයට ගත හැකිය. 

මිනිසාට ලැබී ඇති බුද්දියෙන් කිසිම දෙයක් ඉබේ ඇතිවී ඒ මත ස්වයං නීති ඇතිකර නොගන්නා බව තේරුම් ගත හැකිය. ඒ අනුව විශ්වය බිහිවී ඒ තුල සෑම තැනම එකම භෞතික නීති ක්‍රියාත්මක වීමට නම් ඒ සඳහා යම් කිසි එක් බලයක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පැන නගින්නේය. මේ නිසා අපට නිගමනය කල හැකි වන්නේ ඒවා යම් කිසි ඥානාන්විත එක් දෙවි කෙනෙකුගේ ක්‍රියාවන් බවයි. එක් දෙවි කෙනෙකුට වඩා සිටියහොත් විශ්වය තල ක්‍රියාත්මක වන භෞතික නීති තැනින් තැන වෙනස් වනු ඇත. 

විශ්වය තුල විවිධ වර්ගයේ ජීවින් දැකිය හැකිය. එහෙත් එම ජීවින් ඇතිවුයේ කෙසේදැයි ප්‍රශ්නයකි! මේ සඳහා ඇතැමුන් ඩාවින්ගේ වාදය ඉදිරිපත් කලත් එම වාදය සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් පොසිල සාක්ෂි හමුවී නැත. එය ඩාවින් විසින්ම පිළිගන්නා කරුණකි. එබැවින් අපට පිළිගත යුතු වන්නේ ඒවා දෙවියන්ගේ මැවීම් බවයි. 

විද්‍යාව භෞතික ලෝකයට පමණක් සිමා වන බැවින් එහි පින් හෝ පව් වලට වටිනාකමක් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් ආගම භෞතික ලෝකයෙන් ඔබ්බට යන් බැවින් එහි පින් සහ පව් වලට වටිනාකමක් තිබේ. ඒ අනුව මරණයෙන් පසු ස්වර්ගය හෝ නිරය තීරණය කරනු ලබන්නේ ඒවා මතය. මරණයෙන් පසු දේවල් ගැන විද්‍යාවෙන් පර්යේෂණ කල නොහැකි වූ පමණින් ඒවා ප්‍රත්ක්ෂේප කරන්නේ කෙසේද?

මෙලොවදී මිනිසා කුමන මති මතාන්තර දැරුවත් මරණයෙන් පසු සත්‍යය සහ අසත්‍යය කුමක්දැයි පැහැදිලි වනු ඇත. එවිට මෙලොව ජීවිතයේදී සත්‍ය මාර්ගයේ දිවි ගෙවූ අය ජය ගනු ඇත. එහෙත් මෙලොව ජීවිතයේදී ආගමින් බැහැර වූ අය මහත් අසීරුතාවයට පත්වීම වැළැක්විය නොහැකිය. මේ නිසා මිනිසා විද්‍යාව මත පමණක් එල්බ සිටීම මුග්ධ කමකි. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා (Hajj and Prophet Ibrahim)

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)