ඉස්ලාමය ගැන ඔබ දකින්නේ කුමක්ද? (What do you see about Islam?)


ඉස්ලාම් යනු ලෝකයේ දෙවන විශාලතම ආගමයි. එහෙත් බොහෝ අය එම ආගම ගැන දන්නේ ජනමාධ්‍ය වලින් ඉදිරිපත් කරන අසත්‍ය දේවල් පමණි. බොහෝ විට මාධ්‍ය වල ප්‍රචාරය වන්නේ ඉස්ලාම් දහම වෙනුවට නොමග ගිය ඇතැම් මුස්ලිම්වරුන් විසින් කරනු ලබන වැරදි ගැන පමණි. මේ නිසා ඉස්ලාම් දහම ගැන කිසිවක් නොදන්නා ජනතාව සිතන්නේ ඉස්ලාම් යනු ම්ලේජ්ජ ආගමක් බවයි. තවත් සමහරු සිතන්නේ සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු බවයි. එහෙත් සත්‍යය එය නොවේ. ඉස්ලාම් සහ මුස්ලිම්වරුන් යනු එකිනෙකට වෙනස් දේවල් දෙකකි. ඒ අනුව ඉස්ලාම් යනු ආගමක් වන අතර මුස්ලිම්වරුන් යනු එම ආගම පිළිපදින අය වෙති. ඉස්ලාම් ආගමින් කෙරෙන්නේ මුස්ලිම්වරුන්ට දෙවියන් පහළ කරන ලද නිවැරදි මාර්ගය පෙන්වා දීම වේ.
 
ජන මාධ්‍යවලින් කුමන දෙයක් ප්‍රචාරය කලත් ලෝකයේ වැඩියෙන්ම ආගමට ලැදි පිරිසක් සිටින්නේ මුස්ලිම්වරුන් අතරය. ඒ අනුව හජ් වන්දනය සඳහා වාර්ෂිකව මිලියන තුනකට වඩා ජනතාව ඉතා සාමකාමිව මක්කාවේ පිහිටි දේවස්ථානය වෙත එකතු වන්නෝය. එහෙත් කිසිම අවස්තාවක ජන මාධ්‍යවලින් ඒවා ගැන විශාල ප්‍රචාරයක් ලබා දෙන්නේ නැත. එපමණක් නොව ඇතැම් ආගම්වල කළු සුදු ජාතින් අතර විශාල ගැටුම් තිබියදී විවිධ ජාතීන් උරෙන් උර ගැටී එකට සිටගෙන සලාතය ඉටු කරන්නේ මුස්ලිම්වරුන් ය. තවද වසරක් පාසා මුස්ලිම්වරුන් උපවාසයේ යෙදී සෑම කෙනෙකුටම ඇති කුසගින්න ගැන අවබෝදයක් ලබා ගන්නේය. එය ඇති හැකි අය මෙන්ම නැති බැරි අය විසින් රකින කුසල් ක්‍රියාවක් වේ. තවද ඉස්ලාම් දහමින් ධනවතුන් සඳහා සකාත් බද්දක් නියම කොට තිබේ. එමගින් නැති බැරි අයට උදව් කිරීම සඳහා ඉතා අගනා මාර්ගයක් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් බොහෝ අය මේවා ගැන දන්නේ නැති තරම් ය.
 
කිසිම ආගමකින් ත්‍රස්තවාදය උගන්වා නැත. ඒ ආකාරයටම ඉස්ලාම් දහමින් ද ත්‍රස්තවාදය උගන්වා නැත. කෙසේ වෙතත් සෑම ජාතිකයකම ත්‍රස්තවාදීන් සිටින්නේය. ඒවා දැකීමෙන් ආගමකට දොස් පැවරිය නොහැකිය. ආගම්වලින් උත්සාහ කරන්නේ මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා ය. ඒවා පිළිපැදීම හෝ පිළිනොපැදීම මිනිසා සතු කාර්යයක් වේ. කෙසේ වෙතත් ඉස්ලාම් දහමින් වැරදි වලට දඬුවම් නියම කොට තිබේ. ඒ අනුව ත්‍රස්තවාදීන් කරන මිනීමැරුම් වලට ඉස්ලාම් දහම අනුව දඬුවම් තිබේ. ඒවා ක්‍රියාත්මක කිරීම පාලකයින්ගේ වගකීමකි. එසේ තිබියදී ජන මාධ්‍යවලින් උත්සාහ කරන්නේ ඉස්ලාම් යනු ත්‍රස්තවාදී ආගමක් බවට හංවඩු ගැසීමටයි.
 
ඉස්ලාම් දහම අනුව හේතුවක් නොමැතිව එක් මිනිසෙකු ඝාතනය කිරීම මුළු ලොවේම සිටින ජනතාව ඝාතනය කලාට සමාන වේ. එහෙත් බොහෝ අය මේවා ගැන දන්නේ නැත. මේ නිසා ඉස්ලාම් දහම ගැන නිවැරදිව දැනගැනීමට නම් ජනමාධ්‍ය වලින් ප්‍රචාරය කරන දේවල් පසෙක තබා නිවැරදි ඉස්ලාම් දහම පොත් පත්වලින් දැනගත යුතුය.
 
ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම සඳහා මෙලොවට පැමිණි අවසාන නබි වරයා මුහම්මද් නබි තුමාය. එතුමා මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දී තිබේ. ඒ අනුව ඉස්ලාම් දහම තුල දෙවියන්ට කල යුතු දේවල් මෙන්ම මිනිසා මිනිසාට කල යුතු දේවල් තිබේ. මේ නිසා ඉස්ලාම් දහමින් දෙවියන්ට කල යුතු වැඳුම් පිදුම් නිසා සමාජයට කල යුතු දේවල් කපා හැරිය නොහැකිය. ඒවා නබිතුමාගේ ජිවිත ආදර්ශය තුලින් ඉතා මැනවින් පෙන්වා දී තිබේ.  මේ ගැන කුරානය මෙසේ පවසා ඇත. "ඇත්ත වශයෙන්ම අල්ලාහ්ව අධිකව සිහි කරන්නන්ටත් අවසාන දිනය ගැන අපේක්ෂා කරන්නන්ටත් අල්ලාහ්ගේ දුතයා වෙතම අලංකාර ආදර්ශයන් ඇත" (කුරානය 33:21). එසේම කුරානයේ තවත් තැනක මෙලෙස පවසා ඇත. "නියත වශයෙන්ම නුඹ ඉතා යහපත් ගති ගුණ ඇත්තෙකි" (කුරානය 68:3). මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම නබිතුමාව අනුගමනය කල යුතු වේ. එය කුසල් ක්‍රියාවක්ද වන්නේය.
 
සෑම මුස්ලිම්වරයෙකුටම හොඳ ගති ගුණ තිබිය යුතුය. ඒ සම්බන්දයෙන් අබ්දුල්ලා ඉබ්නු අම්ර් රලි තුමා නබිතුමාගේ හදිසයක් මෙසේ දැනුම් දෙන්නේය: "ඔබලා අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ ඔබලාගෙන් හොඳම ගති පැවතුම් තිබෙන තැනැත්තා ය" (සහිහ් බුහාරි).
මුස්ලිම්වරයෙකුගේ හොඳ ගති ගුණ නිසා ඔහු අල්ලාහ්ට වඩාත් සමීප වන්නේය. අයිෂා රලි තුමිය මෙසේ සඳහන් කරන්නීය. "මුස්ලිම්වරයෙකුගේ හොඳ ගති ගුණ නිසා ඔහුට අල්ලාහ්ගෙන් රාත්‍රිය පුරා නමදිමින්ද දිවා කාලය පුරා උපවාස කරමින්ද සිටින කෙනෙකුගේ කුලිය ලැබෙන්නේය" (අබු දාවුද්).
 
එක් දිනක් නබිතුමා සහාබාවරුන් සමග මස්ජිදය තුල සිටියදී කාන්තාර වැසියෙක් පැමිණ මජිදය තුල මුත්‍රා කළේය. එම අවස්ථාවේදී එහි සිටි සහාබිවරුන් "නවත්වනු" "නවත්වනු" යැයි කෑගැසුවෝය. එහෙත් නබිතුමා ඔවුන්ට පැවසුවේ ඔහුට බදා නොකොට මුත්‍රා කිරීමට ඉඩ හරින ලෙසයි. ඒ අනුව එම කාන්තාර වැසියා ඔහුගේ අවශ්‍යතාවය ඉටු කර ගත්තේය. ඉන් පසු නබිතුමා එම කාන්තාර වැසියාව ඔහු වෙත කැඳවා මස්ජිදය නැමදීම සඳහා ඇති තැනක් බව කියා දුන්නේය. ඉන් පසුව එම ස්ථානයට වතුර බාල්දියක් වත්කරන ලෙස එහි සිටි සහාබාවරුන්ට උපදෙස් දුන්නේය. ඇත්තෙන්ම එය අදටත් අපට ප්‍රයෝජනවත් උපදේශයක් වේ. කෙසේ වෙතත් අද ඇතැම් මුස්ලිම්වරුන් පවා මෙම ආදර්ශයන් පිළිපදින්නේ නැත. උදාහරනයක් වශයෙන් ඇතැම් උදවිය නබිතුමාට අපහාස වන ආකාරයේ කාටුන් ඇදීමෙන් උරණ වී බොහෝ කල කෝළාහල කෙරුවෝය. එහෙත් එවැනි අවස්ථාවකදී කල යුත්තේ ඉහත සඳහන් කරුණ උදාහරණයට ගෙන ඊට සාමකාමිව පිළිතුරු ලබා දීම වේ. එවිට ඉස්ලාම් දහම ගැන මුස්ලිම් නොවන අයට තේරුම් ගැනීමට හැකි වනු ඇත. 
 
ඉස්ලාම් දහම එක් ජනකොට්ටාසයක් සඳහා පහළ වූ දහමක් නොවේ. එය මුළු මිනිස්වර්ගයා වෙනුවෙන් පහළ වුවකි. එබැවින් ඉස්ලාම් දහම ගැන දැනගැනීම මිනිස්වර්ගයාට පැවරෙන වගකීමකි. 
 
By Fasy Ajward,B.Sc (Sp.Phy) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path











 

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)