ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)


පෘථිවිය මිනිසාට තාවකාලික නවාතැනක් පමණි. ඒ අනුව ලෝක අවසානයක් ගැන සෑම ප්‍රධාන ආගමකින්ම පවසා තිබේ. පෘථිවියේ ඇති කඳු දුවිලි මෙන් විනාශ වන ආකාරය ගැන කුරානයේ විස්තර කොට ඇත. ඉස්ලාම් දහම පෙන්වා දෙන අන්දමට පෘථිවියේ සිටින සෑම ජීවියෙකුම දෙවියන් නියම කල දිනයකදී එකම අවස්ථාවකදී මිය යන්නේය. ඉන් පසු පෘථිවිය වෙනස් අකාරයකට පත් කරනු ලැබේ. ඉන් පසු සෑම ජීවියෙකුම නැවත නැගිටුවා ඔවුන් ක්‍රියා කල ආකාරය ගැන ප්‍රශ්න කොට ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය. මෙම ප්‍රශ්න කරන දිනයට "යව්මුද්දීන්" ලෙසද "යව්මුල් කියාමා" ලෙසද වෙනත් නම් වලින්ද කුරානයෙන් විස්තර කොට ඇත. ඉහත සඳහන් අවසාන දිනය ලඟා වීමේදී සිදු වීමට නියමිත දේවල් පිළිබඳව නබිතුමා කලින්ම දැනුම් දී තිබේ.

ඒ අනුව ලෝක අවසානය ලඟා වත්ම නිතර නිතර භූමිකම්පා ඇති වන බව නබිතුමා පැවසුවේය. ඒ හැරුණු විට ලොව පුරා යුද ගිනිදැල් පැතිරී යන්නේය. මිනිස් ඝාතන වැඩි වන්නේය. එය කොතරම්දැයි කිවහොත් ඝාතනයට ලක්වූ තැනැත්තා ඔහුව ඝාතනය කලේ කුමක් නිසාදැයි දැනගන්නේ නැත. එසේම එම ඝාතනය සිදු කරන්නේ කුමකට දැයි ඝාතකයා දැනගන්නේද නැත.

ලෝක අවසානයට පෙර ප්‍රධාන කරුණු දහයක් සිදු වීමට නියමිතය. ඒ අනුව ජේසු තුමා නැවත මේ ලෝකයට පැමිණීමට නියමිතය. ඉන් පසු මුහම්මද් නබිතුමාගේ පරම්පරාවෙන් පැවත එන මහදි තුමා පැමිණීමට නියමිතය. අනතුරුව දජ්ජාල් (Anti Christ) පැමිණෙන්නේය. තවත් ප්‍රදාන සලකුණක් හැටියට නැගෙනහිරින් පායන සුර්යයා බටහිරින් පයන්නේය. අවසාන කාල පරිජ්ජෙදයේදී විශාල බුමිකම්පා තුනක් සිදුවීමට නියමිතය. තවද එම කාලය ලඟා වත්ම විශාල දුමකින් පොලව වසා ගන්නේය. තවද නබිතුමා පැවසූ අන්දමට භුමියේ සිට දාබ්බ්තුල් අර්ල් නමැති සුවිශේෂී සත්වයෙක් පැමිණෙන්නේය. මෙම සලකුණු වලින් එකක් හෝ ඇති වූ විට අනෙක්වා ඉතා වේගයෙන් සිදුවන බව නබිතුමා පැවසුවේය.

ඉහත සඳහන් ප්‍රධාන සිදුවීම් ඇති වීමට පෙර පහත දැක්වෙන සුළු සිදුවීම් ඇතිවන බව නබිතුමා පැවසුවේය. 
  • ප්‍රයෝජනවත් දැනුම ලෝකයෙන් තුරන් වන්නේය. ඒ වෙනුවට නුගත්කම පැතිරෙනු ඇත. 
  • පොත්පත් සහ ලිඛිත දැනුම බහුලව දැකිය හැකි වුවත් (ආගමික) විද්වතුන්ගේ හිඟයක් ඇති වේ. (අහමද්). 
  • පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම සාමාන්‍ය සිද්ධීන් බවට පත්වේ. (මේ වැනි දේ සිදුවන විට මිනිසා මිට පෙර කිසිදාක නො ඇසූ නො දුටු ලෙඩ රෝග අළුතින් ව්‍යාප්ත වනු ඇත). (බුහාරි, මුස්ලිම්, ඉබ්නු මාජාහ්) 
  • පාලකයින් අනාචාරයේ හැසිරීම බහුල වශයෙන් සිදු කෙරෙනු ඇත. (ඉබ්නු මාජාහ්). 
  • පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම ප්‍රසිද්ධියේම සිදු කෙරෙනු ඇත. 
  • මත්පැන් භාවිතය බහුලවශයෙන් සිදු කෙරෙනු ඇත (බුහාරි, මුස්ලිම්). 
  • පිරිමින්ට වඩා ගැහැණුන්ගේ ප්‍රතිශතය වැඩිවනු ඇත. (බුහාරි, මුස්ලිම්). 
  • මනුෂ්‍ය ඝාතන බහුලව සිදුවනු ඇත. 
  • කෑදරකමින් කෑම මේසයක් වටා සිටගන්නවා සේම මුස්ලිම්වරුන්ට එරෙහිව ලෝකයේ විවිද ජාතින් සිටගනු ඇත. මෙසේ සිදුවන විට ලෝකයේ මුස්ලිම්වරු බහුලව සිටියත් ඔවුන් මුහුදේ ඇති පෙන මෙන් වටිනාකමක් නැති ජාතියක් බවට පත්වනු ඇත. 
  • අම්ල වරුසා, වසිනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
  • අවජාතක දරුවන් සුලබ වනු ඇත (අත් තබරානි, අල් හාකිම්). 
  • පොදු අරමුදල් (trust) ලාභ උපයන දේවල් බවට පත් කෙරෙනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි)
  • ලාභාංශ ධනවතුන් අතර පමකන් බෙදා ගනු ඇත, ඒවා දුප්පතාට නොලැබෙනු ඇත (අත් තිර්මිසි)
  • zසකාත් ගෙවීම බරක් ලෙස සලකනු ඇත. මසුරුකම රජකරනු ඇත. අකමැත්තෙන් සදකා {තුටුපඬුරු) දෙනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි)
  • මිනිසුන් මසුරන් බවට පත්වනු ඇත (බුහාරි). 
  • හදිසි මරණ ගැන නිතර නිතර ඇසීමට ලැබෙනු ඇත (අහමද්). 
  • මිනිසුන් ප්‍රසිද්දියේ කුලුපහු මිතුරන් ලෙස රඟ පාන අතර රහසිගතව සතුරන් ලෙස ක්‍රියාකරනු ඇත (අත් තිර්මිසි)
  • මිනිසුන් භාර්යාවන්ට කීකරු වන අතර මවට අකීකරු වනු ඇත, යහළුවන් සමග කුලුපහවන අතර පියාගෙන් දුරස් වනු ඇත (අත් තිර්මිසි)
  • දේවස්ථානවල උස්හඩින් කතා කරනු ඇත (අත් තිර්මිසි). 
  • දිගු ගමන් කෙටි කාලයකදී සිදු කරනු ඇත. 
  • මිනිසුන් අතරින් නරකම ජනයා පාලකයින් බවට පත්වනු ඇත (අත් තිර්මිසි). 
  • පාලකයන් විසින් ජනතාව තලා පෙලා රට පාලනය කරනු ඇත (අල් හය්තමි)
  • මිනිසුන්ගේ දෘශ්ටකම් වලට බියෙන් මිනිසා මිනිසාට ගෞරව කරනු ඇත (අත් තිර්මිසි)
  • ගායිකාවන්  සහ සංගීත භාණ්ඩ ජනප්‍රිය වනු ඇත (අත් තිර්මිසි)
  • මිනිසුන් කුරානය පිළිපදින බව පවසමින් හදිස් සහ සුන්නාවලින් ඇති වනු ඇත (අබු දාවුඩ්)
  • කාලය වේගවත් වනු ඇත (බුහාරි, මුස්ලිම්)
  • සත්ක්‍රියා දුලභ වනු ඇත (බුහාරි)
  • නිතර නිතර භූමිකම්පාවන් සිදුවනු ඇත. (බුහාරි, මුස්ලිම්)
  • සිව්පාවන් මිනිසුන් සමග කතා කරනු ඇත (අහමඩ්)
  • කාන්තාවන් වස්ත්‍ර ඇන්දත් නිරුවත දිස්වනු වනු ඇත. මොවුන් නොමග යන අතරම අනෙක් අයවත් නොමග යවනු ඇත (මුස්ලිම්)
  • මිනිසුන් ඉතා උස ගොඩනැගිලි සැදීමේ තරගයක නිරත වනු ඇත (බුහාරි)
  • පවුල් අතර ඇති බැඳීම් සිඳී යනු ඇත.
  • අහාර පාන බහුලව තිබුනත් ඒවායේ ආශීර්වාදයක් (blessings) නොතිබෙනු ඇත.
  • යුප්‍රටීස් නදියෙන් නිදානයක් මතු වනු ඇත (බුහාරි, මුස්ලිම්)
අවසාන කාල පරිජ්ජෙදයේදී යුද ගිනි දැල් පැතිරෙමින් ලේ වැගිරීම් සිදු වෙමින් තිබෙන විට මහදි අලෛහි සලාම් තුමා පැමිණීමට නියමිතය. එතුමා පැමිණ ලෝකය පුරා සාමය ඇති කිරීමට නියමිතය. එපමනක් නොව ඔහුගෙන් පසු ලොව පුරා සෞභාග්‍ය උදා වීමට නියමිතය. මෙම සිදුවීම් වලින් පසු නැවතත් ලෝකයට නරක කාලයක් උදා වන්නේය. එවිට දජ්ජාල් පැමිණෙන්නේය. ඔහු සිරියාව සහ ඉරාකය අතර පිහිටි කළාලා යන ස්ථානයෙන් මතු වීමට නියමිතය. දජ්ජාල්ගේ හිසකෙස් රැලිවැටී ඇති බවත් ඇස් ඉදිරියට නෙරා ඇති බවත් නබිතුමා පවසා ඇත. තවද ඔහුගේ එක් ඇසක් අන්ද වී ඇත. දජ්ජාල් දින හතලික් ජිවත් වන අතර එම කාලයේදී ලොව පුරා දැවැන්ත විනාශයක් සිදු කරන්නේය. දජ්ජාල්ගේ නළලේ 'කාෆිර්' යැයි කොටා ඇත. එබැවින් ඔහුව පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකි වන්නේය.
 
දජ්ජාල් පැමිණෙන්නේ වරුසාව සම්පුර්ණයෙන් නතරවී ඉඩෝරයක් පවතින කාලයකදී ය. ඒ අනුව මිනිසුන් මහත්සේ පිඩාවට පත්ව සිටිනු ඇත. එවිට දජ්ජාල් පැමිණ අල්ලාහ් ඔහුට පිරිනමා ඇති බලයෙන් අහසට නියෝග කොට වරුසාව වස්සවන්නේය. ඉන් පසු භුමියට නියෝග කොට බෝග වැවීමට සලස්වන්නේය. මෙම හාස්කම් පෙන්වීමෙන් පසු අලංකාර තරුණයෙකුව කැඳවා, ඔහුගේ දේවත්වය පිළිගන්නා ලෙස අණ කරන්නේය. එහෙත් එම තරුණයා දජ්ජාල්ගේ නියෝගය ප්‍රතික්ෂේප කරන්නේය. එවිට දජ්ජාල් ඔහුගේ අතැති කඩුවෙන් එම තරුණයාව දෙකට කපා ඝාතනය කරනු ඇත. ඉන් පසු දජ්ජාල්, ඔහුට නැගිටීමට අණ දෙන්නේය. එම අවස්ථාවේදී එම තරුණයා සිනාසෙමින් නැගිටින බව නබිතුමා පැවසුවේය. ඉන් පසු එම තරුණයාට දජ්ජාල්ගේ දේවත්වය පිලිගනනා ලෙස නැවත නියෝග කරන්නේය. එහෙත් එම තරුණයා  දෙවන වරටත් දජ්ජාල්ගේ ඉල්ලීම ප්‍රත්ක්ෂේප කරන බව නබිතුමා පැවසුවේය. ඉන් කෝපයට පත්වන දජ්ජාල් නැවත එම තරුණයාව ඔහුගේ කඩුවෙන් කපා වෙන් කිරීමට උත්සාහ කලත් එය සාර්තක් වන්නේ නැත. මේ නිසා දජ්ජාල් වෙනත් නගරයකට යන්නේය. ඔහු යන යන සෑම තැනම විශාල විනාශයන් සිදු කරන බව නබිතුමා පැවසුවේය. අල්ලාහ් කෙරෙහි දුර්වල විශ්වාසයක් ඇති අය පමණක් දජ්ජාල්ගේ දේවත්වය පිළිගන්නා බව නබිතුමා පැවසුවේය.
 
මෙම අවස්ථාවේදී ජේසු තුමා දෙවදුතයින් දෙදෙනෙකුගේ අත්තටු මත දමස්කස් නගරයට නැගෙනහිරින් පිහිටි මිනාරාව දෙසට පැමිණෙන බව නබිතුමා පැවසුවේය. ජේසු තුමා පැමිණි පසු එම අවස්ථාවේ සිදුවෙමින් තිබෙන සලාතය මෙහෙය වන බව හදිස්වල දැක්වේ. ජේසු තුමා දජ්ජාල්ව සොයා ගොස් 'බාබු ලුද්' හිදී ඝාතනය කරනු ඇත.
 
අවසාන වශයෙන් යාජුජ් සහ මාජුජ් (Gog and Magog) යන කණ්ඩායම් දෙක කඳු මුදුන් වල සිට පැමිණෙන්නේය. ඔවුන් පැමිණ ලොව පුරා විශාල විනාශයන් සිදු කරන්නේය. මෙම සිදුවීම් වලින් පසු ඉර බටහිරින් උදා වන්නේය. එම සිදුවීමෙන් පසු ඉස්ලාම් දහම පිළිගන්නා කිසිවෙකුගේ දේව විශ්වාසයෙන් ප්‍රයෝජනයක් නැත. අවසාන වශයෙන් මනරම් සුළඟක් හමා යන අතර එය තැවරෙන සෑම විශ්වාසවන්තයෙකුම මරණයට පත් වන්නේය. මේ නිසා ලෝකය අවසාන වන විට ඉතිරි වන්නේ දෙවියන්ව විශ්වාස නොකරන අය පමණි. 
 
By Fasy Ajward.B.Sc(sp.phy)Hons,Japura.
Ex: Research officer at former Scientific and Industrial Research Institute.


https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/

Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)

ඉස්ලාමීය ව්‍යාපාරික ආචාර ධර්ම (Islamic Business Ethics)