ෂරියා යනු කුමක්ද? (What is Sharia?)


ෂරියාව ගැන කියපු ගමන්ම ඇතැමුන්ට මතක් වන්නේ විවාහ හතරක් ගැනත් සොරුන්ගේ අත කැපීම ගැනත් ය. නොදන්නා කම නිසා එලෙස උපකල්පනය කලත් ෂරියා නීතියෙන් මුස්ලිම්වරුන්ට සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දෙන්නේය. මේ නිසා ෂරියා ජිවන සැලැස්ම තුල මිනිසා විසින් දෙවියන්ට කල යුතු දේවල් සහ මිනිසා විසින් මිනිසාට කල යුතු දේවල් අඩංගු වේ. උදාහරණයක් වශයෙන් සලාතය, උපවාසය, සකාත් සහ හජ් වන්දනය මෙන්ම විවාහය, දික්කසාදය, ව්‍යාපාරය, මුදල් ගනු දෙනු ආදී දේවල් ද එහි දැකිය හැකිය.

ඇතැම් අය මුස්ලිම්වරුන්ට විවාහ හතරක් සිදු කිරීමට අවසර ලබා දී තිබීම අපහාසත්මකව බැලුවත් කුරණයෙන් පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට නොහැකි නම් එක් විවාහයක් පමණක් සිදු කරන මෙන් දී ඇති නියෝගය දැක නැත. ඇත්ත වශයෙන්ම එවැනි නියෝගයක් ලබා දී තිබෙන්නේ ෂරියා නීතියෙන් පමණි. 

ඇතැම් ෂරියා නීති ඉතා දැඩි වුවද එමගින් බලාපොරොත්තු වන්නේ සමාජයේ සිදු වන වැරදි අවම කිරීමයි. මෙම දැඩි නීති නිසා මුස්ලිම් සමාජය තුල ස්ත්‍රී දුෂණ සහ සොරකම ඉතාමත්ම අඩුවෙන් දැකිය හැකිය. එහෙත් දියුණු යැයි කියා ගන්නා රටවල් වල ඒවා ඉතා ඉහල අගයන් ගන්නේය. 

ෂරියාව අනුව යම් වටිනා භාණ්ඩයක් සොරකම් කොට උසාවියකදී වරද කරු වුවහොත් ඔහුගේ අත කැපීමට නියම කරනු ලැබේ. බැලු බැල්මට එය ඉතා දරුණු දඬුවමක් ලෙස පෙනී ගියත් කෙනෙකුගේ රන් මාලයක් හෝ වාහනයක් සොරා ගත් විට ඔහුට දැනෙන වේදනාව අපට සිතා ගත හැකිය. මේ නිසා සාමාන්‍ය ජීවිතයේදී පොල් අත්තක් සොරකම් කරත් ඒ වෙනුවෙන් මරාගන්නා අවස්ථාවන් තිබේ. ඒවා වැළැක්වීමට නම් සුදුසු නීති පනවා තිබිය යුතුය. ෂරියා නීති මගින් ඒවා පෙන්වා දෙන්නේය.

ෂරියා නීතිය අනුව විවාහක ස්ත්‍රී දුෂකයෙකුට මරණ දඬුවම නියම කොට ඇත. මෙවැනි නීති නොතිබීම නිසා අද සමාජය තුල අනාචාරයේ හැසිරීම බෙහෙවින් ඉහළ ගොස් තිබේ. එම හේතුවෙන් මිනීමැරුම් පවා සිදු වන්නේය. ඒවා වැළැක්වීමට නම් සුදුසු නීති අවශ්‍යය. ඒ අනුව ෂරියා නීති ක්‍රියාත්මක වන රටවල් වල ස්ත්‍රී දුෂණ ඉතා අඩුවෙන් දැකිය හැකිය. 

ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වය වන්නේ යම් වැරැද්දක් කල පසු ඔහුට මරණයෙන් පසු දඬුවම් විඳීමට සිදු වන බව තරයේ විශ්වාස කිරීමයි. මේ නිසා නබිතුමාගේ කාලයේදී අනාචාරයේ හැසිරුණු එක් කාන්තාවක් පැමිණ ඇය වෙනුවෙන් වූ ෂරියා නීතිය ක්‍රියාත්මක කරන මෙන් ස්වෙච්චාවෙන්ම ඉල්ලා ඇත. මෙවැනි තත්වයක් ෂරියා නොවන නීතියෙන් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය. 

ෂරියා නීතිය අනුව මිනිස් ඝාතකයෙකුට පවා නැවත අලුත් ජිවිතයක් ගොඩ නගා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. ඒවා ගැන දැනගැනීම පිණිස සමාජය තුල වැඩියෙන්ම කතා බහට ලක්වන මාතෘකා කිහිපයක් ගැන සලකා බලමු. 

මිනිස් ඝාතන සඳහා ෂරියා නිතිය : ඉස්ලාම් දහමින් මිනිස් ඝාතකයෙකුට පවා සමාව ගැනීම සඳහා අවස්ථාව උදාකොට ඇත. එහෙත් ෂරියා නොවන නීතිය අනුව මිනිස් ඝාතකයෙකුට එල්ලුම් ගස හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කෙරේන්නේය. එම නිසා ෂරියා නොවන නීතියට අනුව මිනිස් ඝාතකයෙකුට සමාව ගැනීමට තිබෙන අවස්තාව බෙහෙවින් සිමා වන්නේය. එහෙත් ෂරියා නිතිය අනුව මිනිස් ඝාතකයෙකුට දඬුවම් ක්‍රියාත්මක කිරීමට පෙර අවස්ථාවන් තුනක් හිමි වේ. 1. ඔහුට වරද සිදු කල අයගෙන් සමාව ඉල්ලා සිටිය හැකිය. 2. වන්දියක් ගෙවා නිදහස පැතිය හැකිය. 3. මෙම අවස්ථාවන් දෙකම අසාර්ථක වුයේ නම් පමණක් ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නේය.

විවාහය: ඉස්ලාම් නොවන නිතිය අනුව ඕනෑම කෙනෙකු සමග විවාහ විය හැකි මුත් ෂරියා නිතිය අනුව අල්-කුරණයෙන් තහනම් නොකළ අය සමග පමණක් විවාහ විය හැකිය. මේ නිසා ප්‍රශ්චාත් විවාහ ගැටළු අවම වන්නේය. 

බහු විවාහය: 1. ෂරියා නීතියෙන් කොන්දේසි සහිතව විවාහ හතරක් සිදු කිරීමට අවසර ලබා දී තිබේ. එහෙත් එම කොන්දේසි ඉටු කිරීමට නොහැකි අයට එක් විවාහයක් පමණක් සිදු කරන ලෙස නියෝග කොට ඇත. එවැනි නියෝගයක් කුරානයේ හැර වෙන කිසිම ආගමික ග්‍රන්තයක සඳහන් වන්නේ නැත. මේ නිසා කුරානය මගින් ලෝකයේ වැඩිවන කාන්තා ප්‍රතිශතය සඳහා සුදුසුම විසඳුම ලබා දී ඇති අතර කාන්තාවගේ සුබ සිද්ධිය දෙසත් අවධානය යොමු කොට ඇත.  මෙම අවසරය නොතිබෙන්නට බොහෝ කාන්තාවන්ට සිදු වන්නේ විවාහ නොවී සිටීමට හෝ කාගේ හෝ අනියම් භාර්යාවක් වීමටය. 

කාමය වරදවා හැසිරීම: ෂරියා නීතියෙන් මේ සඳහා ලබා දී ඇති දඬුවම බොහෝ අයගේ විවේචනයට හේතුවක් වී තිබේ. එහෙත් එම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇසින් දුටු ශාක්ෂි සතරක් අවශ්‍ය බව කුරානය සඳහන් කරන්නේය. එය පහසු කාර්යයක් නොවේ. එම නිසා එම වරදට නියම කොට ඇති දඬුවම ක්‍රියාත්මක කළ හැක්කේ කාමය වරදවා හැසිරුණු පුද්ගලයින් විසින් ස්වෙජ්ජාවෙන් එම වරද පිළිගන්නේ නම් පමණි. නබිතුමාගේ කාලයේදී එම දඬුවම ක්‍රියාත්මක කොට ඇත්තේ ස්වෙජ්ජාවෙන් ඉදිරිපත් වූ එක් අයෙකුට පමණි. කෙසේ වෙතත් ඉස්ලාම් දහම අනුව එවැනි වරදකට පවා උසාවියකට ඉදිරිපත් කිරීමට පෙර පසුතැවිලි විය හැකිය. 

ඇඳුම: ඉස්ලාමිය ඇඳුම් ක්‍රමය බොහෝ අයගේ විවේචනයට ලක් වුවද එමගින් සමාජයට සිදුවන යහපත අති විශාලය. වාහනයක ටයරයක් පවා විකුණා ගැනීම සඳහා වෙළඳ දැන්වීම් වලට අඩනිරුවත් කාන්තා රූප යොදා ගන්නා මෙවන් යුගයක ඇතැම් අයට මුස්ලිම්වරුන් අඳින ඇඳුම විශාල ප්‍රශනයක් වී තිබේ. කෙසේ වෙතත් ෂරියා නීතියෙන් මුස්ලිම්වරුන්ට නියම කොට ඇති ඇඳුම් ක්‍රමය නිසා කිසිවෙකුට කිසිම හානියක් සිදු වන්නේ නැත. සංඛ්‍යා ලේකන වලින් ඒ බව ඔප්පු වන්නේය. තවද ඉස්ලාම් නිතිය අනුව ඇඳුම් අඳින සමාජවල කාන්තා හිංසනයන්වල විශාල අඩුවක් දැක ගත හැකිය. 

සොරකම: ඉස්ලාම් දහමින් සමාජයේ යහ පැවැත්ම සඳහා සොරකමට දැඩි දඬුවම් නියම කොට ඇත. එහෙත් එම නීතිය ක්‍රියාත්මක වන රටවල් වල අත කපා ඇති අයගේ සංඛාව ඉතා අඩුවෙන් දැකිය හැකිය. ඊට හේතුව එම දඬුවමේ ස්වභාවය නිසාම බොහෝ අය සොරකම් කිරීමෙන් වැලකී සිටීමයි. එහෙත් එම නිතිය ක්‍රියාත්මක නොවන තැන්වල කරේ රත්‍රන් මාලයක් පැළඳගෙන යාමත් අවදානම් සහිතය. බැංකුවකින් මුදලක් ගෙන ඒමත් අවදාම සහිතය. ව්‍යාපාරයක් කිරීමත් අවදානම් සහිතය. වටිනා දෙයක් නිවසේ තබාගැනීමත් අවදානම් සහිතය. අනෙක් අතට ඉස්ලාම් දහමින් සොරකමට අත කැපීම නියම කොට තිබුනත් බොහෝ අය සුළු දෙයක් සොරා ගත් විට පවා මිනී මරා ගන්නා අවස්ථා ඕනෑතරම් තිබේ. ඒ අනුව බලන කල ඉස්ලාමිය නීතිය සුදුසු බව ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුය. 

යුද්ධය: අංග සම්පුර්ණ දහමක් ලෙස ඉස්ලාම් නීතියෙන් යුද්ධ කිරීම සඳහා අවසර ලබා දෙන්නේය. එවැනි අවසරයක් නොතිබුනේ නම් සතුරු ආක්‍රමණයකදී කුමක් කරන්නේද? ඉස්ලාම් දහම විවේචනය කරන අය මේ සඳහා දෙන පිළිතුර කුමක්ද?

ආගමික නිදහස: ඉස්ලාම් දහම තුල බල කිරීමක් නොමැත. ඒ අනුව ඕනෑම කෙනෙකුට තමන් කැමති දහමක් පිළිපැදීමට අවසර තිබේ. ඉස්ලාම් දහම විශ්වාසය මත ගොඩ නැගී ඇති ආගමක් බැවින් කෙනෙකුව බලෙන් ඉස්ලාම් ආගමට හැරවීමටද නොහැකිය. 

ෂරියාව මගින් නීති ක්‍රියාත්මක කිරීම පමණක් බලාපොරොත්තු වන්නේ නැත. එම ජිවන ක්‍රමය අනුගමනය කිරීම නිසා මරණයෙන් පසු ස්වර්ගය ලබා ගැනීමට අවස්ථාව ලැබේ. එය මිනිසාට ලබා ගත හැකි උසස්ම ජයග්‍රහනයි. එහෙත් මිනිසා විසින් සම්පාදනය කර ඇති නීති වලින් එම අවස්තාව උදා වන්නේ නැත.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)