මුස්ලිම් විවාහයකදී සලකා බැලිය යුතු කරුණු (Things to consider in a Muslim marriage)

ඉස්ලාම් දහම අනුව විවාහ වීම නබිතුමාගේ සුන්නාවකි. එම නිසා එය කුසල් ලැබෙන ක්‍රියාවක් ද වේ. එම හේතුවෙන් විවාහ වීමට හැකියාව තිබෙන කෙනෙක් විවාහ නොවී තපස් රැකීම සුදුසු නොවේ. කෙසේ වෙතත් විවාහ වීම සඳහා ඉස්ලාම් දහමින් බල කරන්නේද නැත.

විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අල්ලාහ්ගේ ආශීර්වාදය තිබිය යුතුය. එය ලඟා කර ගත හැක්කේ නබිතුමාගේ මග පෙන්වීම අනුව විවාහයේ සෑම කටයුත්තකම සිදු කිරීමෙන් ය. ඒ අනුව ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති කිසිම දෙයක් විවාහයකදී නොකල යුතුය. 

බොහෝ අය විවාහ වීමේදී මුලින්ම සොයන්නේ මනාලියගේ වත්කම් ගැනත් අලංකාරය ගැනත් වංශය ගැනත්ය. එහෙත් නබි තුමා උපදෙස් ලබා දී තිබෙන්නේ ආගමික හැදියාවට මුල් තැන ලබා දෙන ලෙසයි. එම උපදේසය අනුව යම් කෙනෙක් තමන් විවාහ වීමට අදහස් කරන තැනැත්තියගේ ආගමික ලැදියාවට මුල් තන ලබා දිය යුතුය. එය විවාහ දිවියේ සාර්ථකත්වයට හේතුවක් වනු ඇත. 

මුස්ලිම්වරයෙකු කිසිම විටෙක මනාලියගෙන් දෑවැද්දක් බලාපොරොත්තු නොවිය යුතුය. එසේ කිරීම කුරානයේ නියෝගයට පටහැනි ක්‍රියාවක් වේ. ඇයිද යත් කුරණයෙන් නියෝග කොට තිබෙන්නේ මනාලයා විසින් මනාලියට මහර් දීමනාව දෙන ලෙසයි. "...එහෙයින්, ඔවුන්ගෙන් කව්රුන් සමග නුඹලා සැප විඳිහුද, ඒ වෙනුවෙන් ඔවුන්ගේ විවාහ දීමනාව (මහර්) අනිවාර්යයෙන් ඔවුනට දිය යුතුය..." (කුරානය 4:24). එසේ තිබියදී කෙනෙක් මිට පටහැනිව ක්‍රියා කරන්නේ නම් ඔහු අල්ලාහ්ගේ කෝපයට පාත්‍ර වනු ඇත. 

මුස්ලිම්වරයෙකුට තමන් කැමති ඕනෑම කෙනෙකු සමග විවාහ විය නොහැකිය. ඔවුන් කව්රුන්ද යත්: “ඔබගේ මව්වරුන්ද, ඔබගේ දියනියන්ද, ඔබගේ සහෝදරියන්ද, ඔබගේ පියාගේ සහෝදරියන්ද, ඔබගේ මවගේ සහෝදරියන්ද, ඔබගේ සහෝදරයන්ගේ දියනියන්ද, ඔබගේ සහෝදරියන්ගේ දියනියන්ද, ඔබට කිරි දුන් කිරිමව්වරුන්ද, ඔබට කිරිදිමෙන් වූ සහෝදරියන්ද, ඔබගේ භාර්යාවන්ගේ මව්වරුන්ද ඔබට තහනම් කරනු ලැබ ඇත" (කුරානය 4:23). මෙය තදින්ම පිළිපැදිය යුතු කරුණකි. 

පියෙකු විසින් තම දියණිය බලෙන් විවාහ කර දීම සඳහා ඉස්ලාම් අනුමැතිය දෙන්නේ නැත. එසේම කෙනෙකුට බලෙන් කාන්තාවක් සමග විවාහ වීමටද අවසර නැත. ඔවුන් ප්‍රසිද්දියේ යම් වැරැද්දක් කළොත් මිස ඔවුන්ට හිංසා නොකළ යුතුය. යම් කෙනෙක් විවාහ වූ පසු තම සහකාරියගේ කුමන අඩුපාඩුවක් තිබුනත් ඒවා ඉවසාගෙන ජිවත් වීම කුරානයේ නියෝගය වේ. "විශ්වාස කළවුනි! ස්ත්‍රින්ව බලහත්කාරයෙන් අයිති කරගැනීමට නුඹලාට අනුමැතිය නොමැත. ඔවුන් ප්‍රසිද්ධියේ යම් නින්දාසහගත ක්‍රියාවක් කළේ නම් හැර ඔවුන්ට නුඹලා දුන් දැයින් (මහර්) කොටසක් පැහැර ගැනීම සඳහා ඔවුනට හිංසා නොකරනු. ඔවුන් සමග ගෞරවයෙන් ජීවත්වනු. නුඹලා ඔවුන්ව අප්‍රිය කලද (ඉවසා ගනු) මන්ද, නුඹලා යමක් අප්‍රිය කලද, අල්ලාහ් එහි අධික යහපත තැබීමට පිළිවන" (කුරානය 4:19). 

මුස්ලිම් කාන්තාවකට පියාගේ හෝ භාරකරුගේ අවසරය නොමැතිව තම උවමනාව පරිදි විවාහ විය නොහැකිය. එහෙත් භාරකරු සාධාරණ හේතුවක් නොමැතිව විවාහයට අවසර නොදෙන්නේ නම් කාසි වරයාගෙන් අවසරය ගෙන විවාහ විය හැකිය. මෙවැනි ක්‍රමයක් නොමැති විට කාන්තාවන් පිරිමින්ගේ රැවටීම්වලට ලක් විය හැකිය. එවැනි සිදුවීම් මුස්ලිම් නොවන සමාජයේ විශාල ලෙස දක්නට ලැබෙන්නේය. විවාහ වීමේදී ඒ සඳහා සාක්ෂි කරුවන් දෙදෙනෙකු සිටිය යුතුය. මෙම පියවර ගෙන තිබෙන්නේද විවාහය සුරක්ෂිත කිරීම සඳහා ය. 

ඉස්ලාම් දහමේ නැකත් බැලීමක් නැත. එම නිසා මුස්ලිම්වරයෙකු විවාහ වීමේදී හෝ වෙනත් කටයුත්තකදී හෝ ඊට සුදුසු වේලාවන් බැලීම වරදකි. 

ඉස්ලාම් දහම තුල පෝරුවේ චාරිත්‍ර කිසිවක් නැත. එවැනි දේවල් ඇතැම් අය කලත් ඒවා ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. බොහෝ විට ඒවා හින්දු චාරිත්‍ර වලින් ලැබුණු ඒවාය. 

මුස්ලිම්වරයෙකු විවාහ වීමේදී විශාල සාදයන් පැවැත්වීමට වඩා තමන්ගේ හැකියාවට අනුව එය සිදු කිරීම අල්ලාහ්ගේ ආශීර්වාදය ලැබීමට හේතුවකි. නබි තුමා පවසා ඇත්තේ සුලුවට කරන විවාහ මංගල්‍යවල වැඩියෙන් බර්කත් හෙවත් ආශීර්වාද තිබෙන බවයි. එසේ තිබියදී බොහෝ අය විවාහ උත්සව පැවැත්වීම සඳහා පොලියට ණය ගන්නේය. එය අල්ලාහ්ගේ කෝපයට හේතුවකි. මෙම ක්‍රියාවට එරෙහිව කුරානයේ දැඩි ලෙස අවවාද කොට ඇත. 


By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)