අල්ලාහ් වෙත සමීප වීමට ඇති ක්‍රියාවන් (Actions to draw closer to Allah)


අල්ලාහ් වෙත සමීප විය හැක්කේ ඔහු විසින් නියම කරන ලද ක්‍රියාවන් සිදු කිරීමෙන් පමණි. ඒවා ඔහුගේ දුතයා වන මුහම්මද් නබි තුමා විසින් පෙන්වා දී ඇත. මේ නිසා නබිතුමා පෙන්වා දී ඇති දේවල් වෙනස් නොකර ඔහු පෙන්වා දී ඇති අකාරයටම පිළිපැදීම අනිවාර්ය වේ. ඒ සඳහා තිබිය යුතු මුලික කොන්දේසියක් වන්නේ අල්ලාහ් වෙනුවෙන් සිදු කිරීමේ අවංක චේතනාවයි. එසේ නොමැතිව කන්දක් තරම් පින් දහම් කලත් ඉන් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. ඒ අනුව විනිශ්චය දිනයේදී ප්‍රසිද්ධිය වෙනුවෙන් පින් දහම් කල දානපතියෙක්, ප්‍රසිද්ධිය සඳහා මිනිසුන්ට දහම ඉගැන්වූ ආලිම් වරයෙක්, ප්‍රසිද්ධිය සඳහා ජීවිතය පරිත්‍යාග කල රණ විරුවෙක් යන තුන් දෙනා ප්‍රශ්න කිරීමෙන් පසු කකුල් දෙකින් ඇදගෙන ගොස් නිරයට විසිකරන බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වන්නේය. මේ නිසා පින් දහම් කිරීමේදී පවිත්‍ර චේතනාව ඉතා වැදගත් වේ. 
 
අල්ලාහ් වෙත ලං වීමේ චේතනාවන් කුරානයේ හෝ නබිතුමාගේ හදිස් වල නැති දෙයක් අලුතින් ඇති කොට ඒවා සිදු කිරීම විශාල වරදකි. එසේ කිරීමෙන් අල්ලාහ් වෙන ලං වීම වෙනුවට අල්ලාහ්ගෙන් දුරස් වන්නේය. මේ සම්බන්දයෙන් නම් තුමා දැඩි ලෙස අවවාද කොට තිබේ. මේ නිසා ඕනෑම කුසල් ක්‍රියාවක් කිරීමට පෙර එය දහමින් පෙන්වා දී ඇති දෙයක්දැයි පරික්ෂා කොට බැලීම අනිවාර්ය වේ. 

පින් දහම් කිරීමේදී උඩඟු නොවිය යුතුය. තිර්මිසි සහ ඉබ්නු මාජා යන ග්‍රන්ථවල සඳහන් හදිසයකට අනුව යම් කෙනෙක් කුරානය හදාරා එමගින් අනවශ්‍ය ලෙස පුහු ගෝශාව පෙන්වන්නේ නම් ඔහු නිරයේ "දුකෙහි නිම්නය" වෙත යොමු කොට වේදනාවට පත්කරනු ලබන බව සඳහන් වේ.

මුස්ලිම්වරයෙක් අවම වශයෙන් දෛනිකව පස් වතාවක් සලාත් ඉටු කල යුතුය, වසරකට වරක් ධනවතුන් විසින් සකාත් ගෙවිය යුතුය, එසේම රමළාන් මාසය පුරාවට උපවාසය කල යුතුය, හැකියාව ඇති අය හජ් වන්දනය ඉටු කල යුතුය. කැමති කෙනෙකුට ඊට අමතරව වෛකල්පික සලාතයන්ද, උපවාසද, සදකා නොහොත් දානමය පින් කම්ද, මක්කාවට ගොස් ඉටු කල යුතු උම්රා ද කල හැකිය. එහෙත් කිසිම කෙනෙක් දහම කරදරයක් හෝ බරක් කර ගත යුතු නැති බව නබි තුමා පවසා තිබේ.

නබිතුමාගේ හදිසයක් අයිෂා රලි තුමිය මෙසේ සඳහන් කොට ඇත: "ඔබට හැකි දේ පමණක් කරන්න. ඔබ ඔබටම කරදරයක් කරගත්තා මිස අල්ලාහ් ඔබට එවැනි බරක් පටවන්නේ නැත" (බුහාරි සහ මුස්ලිම්). තවද අනස් රලි තුමා නබිතුමාගේ හදිසයක් මෙසේ දන්වා සිටියි: "කෙනෙක් සලාතය සතුටින් ඉටු කරන්න. ඔහු විඩාවට පත් වන්නේ නම් වාඩි වෙන්න" (බුහාරි සහ මුස්ලිම්). නැවතත් අයිෂා රලි තුමිය නබි තුමාගේ හදිසයක් මෙසේ දන්වා සිටින්නීය: "අල්ලාහ් වඩාත් ප්‍රිය කරන ක්‍රියාවන් කුමක්ද යත් ඒවා සුළු දෙයක් වුවත් දිගටම කරන දේවල් ය" (බුහාරි සහ මුස්ලිම්).

කෙසේ වෙතත් නබිතුමා දෛනිකව සිදු කල කුසල් ක්‍රියාවන් ගැන අප දැන සිටිය යුතුය. කැමති කෙනෙකුට ඒවා සියල්ලම කල හැකිය. කැමති කෙනෙකුට ඉන් කොටසක් කල හැකිය. එහෙත් වැදගත් වන්නේ තමන් කරන් දේ නොකඩවා කිරීමයි.

සලාතය සම්බන්ද සුන්නාවන්:
නබිතුමා අනිවාර්ය සලාතයට අමතරව දෛනිකව නොකඩවා රකාත් 12 ක් සුන්නා මුඅක්කදා ඉටුකර තිබේ. ඒවා පිලිබඳ විස්තර මෙසේය: අළුයම සලාතයට පෙර රකාත් 2ක් ද ලුහර් සලාතයට පෙර රකාත් 4ක් ද ලුහර් වලින් පසු රකාත් 2ක් ද මහ්රිබ් සලාතයට පසු රකාත් 2ක් ද ඉෂා සලාතයට පසු රකාත් 2ක් ද වේ. අල්ලාහුතාආලාගේ තෘප්තිය උදෙසා මෙම වෛකල්පික රකාත් 12 ඉටුකරන සෑම මුස්ලිම්වරයෙකුටම ස්වර්ගයේ නිවසක් ලබා දෙන බව නබිතුමා පවසා ඇත (සහිහ් මුස්ලිම්).

තහජ්ජුත් සලාතය:
නබිතුමා සෑම දිනකම රාත්‍රී කාලයේදී රකාත් 8ක් තහජ්ජුත් සහ රකාත් 3ක් විතර් ඉටුකර තිබේ. නබිතුමාට එය අනිවාර්ය වන අතර එතුමාගේ අනුගාමිකයින්ට එය සුන්නාවකි. එම සලාතයන් දෙවෙනි වන්නේ අනිවාර්ය සලාතයට පමණි.

ඉෂ්රාක්/ලුහා සලාතය:
ඉර උදාවෙන් පසු විනාඩි 15 හෝ 20 පමණ ගෙවී ගිය පසු මෙම සලාතය ඉටු කල හැකිය. එය අපගේ ශරීරයේ ඇති සෑම පුරුකක් සඳහාම අල්ලාහ් වෙනුවෙන් සදාකා දුන්නාට සමාන යැයි නබිතුමා පවසා ඇත. මෙය අවම වශයෙන් රකාත් 2 ක්ද උපරිම වශයෙන් රකාත් 8 ක්ද ඉටු කල හැකිය.

වෛකල්පිත උපවාසයන්:
අනිවාර්ය උපවාසයට අමතරව වෛකල්පික උපවාසයන් තිබේ. ඒවා මෙසේය: සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හිදී සිදුකරනු ලබන වෛකල්පික උපවාසයන්. ඊට අමතරව සෑම මාසයකදීම 13,14,15 දිනයන්හිදී කරනු ලබන උපවාසයන් වේ. මේ හැරුණු විට අරෆා දිනයේදී ද ආෂුරා දිනය සහ ඊට පෙර දිනයේදී ද උපවාස කිරීම සුන්නා ක්‍රියාවන් වේ.

සදකා:
තම වත්කම් වලට ගෙවිය යුතු අනිවාර්ය සකාත් වලට අමතරව දෙන දීමනාවන් සදකා වන්නේය. නබිතුමා අල්ලාහ් කෙරෙහි තබා තිබුණු විශ්වාසයේ තරම අනුව ඔහුට ලැබෙන කිසිම දෙයක් ඉතිරි කර තැබුවේ නැත. ඔහුගේ අනුගාමිකයින් සඳහාද සදකා දෙන ලෙස දිරිමත් කොට තිබේ.

මෙම කරුණු වලට අමතරව අල්ලාහ්ව සික්ර් කිරීමෙන් ද ඉස්තික්ෆාර් කිරීමෙන්ද ඔහුට ලඟා විය හැකිය. නබිතුමා පවා දෛනිකව සිය වතාවක් ඉස්තික්ෆාර් සිදු කොට තිබේ. තවද දිනපතා අල් කුරානය පරායනක කිරීම ද කුසල් ක්‍රියාවකි. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)