ඉස්ලාම්, වැරදියට වටහාගෙන ඇති දහම (Islam, The Most misunderstood religion)


ලෝකයේ ඇති ආගම් අතරින් වැඩියෙන්ම වැරදියට වටහාගෙන ඇති ආගම ඉස්ලාම් වේ. ඊට ප්‍රධාන හේතුව ජන මාධ්‍ය හරහා නිතර නිතර සිදු කරනු ලබන්නාවූ බොරු ප්‍රචාරයන්ය. තවද, ඉස්ලාම් විරෝදින් විසින් ලියා පල කොට තිබෙන වැරදි තොරතුරු අඩංගු පොත් පත් වේ. මේ සෑම දෙයකින්ම ඉස්ලාම් දහමට පහර එල්ල කරද්දීත් අද ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව එහි ඇති සත්‍යතාවයයි. මැණිකක් මඩේ දැමු පමණින් එහි වටිනාකම අඩුවන්නේ නැත. එසේම ඉස්ලාම් දහමට විරුද්ධව කොතරම් මඩ ප්‍රචාර සිදු කෙරුණත් එහි ව්‍යාප්තිය වැළැක්විය නොහැකිය.

ඇතැම් අය ඉස්ලාම් දහමට චෝදනා කරන්නේ එය කඩුවෙන් ව්‍යාප්ත වූ බව කියමින් ය. එය සත්‍යයක් නම් අදටත් ඉස්ලාම් දහම ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නේ කඩුවෙන් දැයි සිතා බැලිය යුතුය. ඇමරිකාවේ ද්විත්ව කුලුනට කව්රු ප්‍රහාර එල්ල කලත් එය වරදකි. එවැනි ඉගැන්වීම් ඉස්ලාම් දහම තුල නැත. කෙසේ වෙතත් එම ප්‍රහාරයෙන් පසු ඇමරිකාව තුල කුර්ආන් ග්‍රන්ථ වල අලෙවිය ඉතා වේගයෙන් ඉහළ ගියේය. තවද එම සිද්ධියෙන් පසු බොහෝ අය ඉස්ලාම් දහම වැළඳගෙන තිබේ. 

ඉස්ලාම් දහමට එල්ල කරනු ලබන තවත් චෝදනාවක් වන්නේ කුරානය තුල යුද්ධය සම්බන්ද වැකි තිබීම සම්බන්දවයි. ඊට හේතුව බොහෝ අය කුරානය යනු සම්පුර්ණ ජිවන සැලැස්මකට මග කියා දෙන ග්‍රන්ථයක් බව නොදන්නා කමය. ඇත්තෙන්ම කුරානය ඉස්ලාමිය රටක ව්‍යවස්ථාව වන්නේය. ඕනෑම ව්‍යවස්ථාවක රටේ ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ කිරීම සඳහා ඉඩ ලබා දී ඇත. තවද ඒ වෙනුවෙන් මහජනතාවගේ මුදල් වලින් නිත්‍ය බලකායන්ද නඩත්තු කරන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා නිත්‍ය බලකායක් පවත්වාගෙන යන්නේය. එහෙත් ගැටලුව වන්නේ එවැනි දෙයකට කුරණයෙන් ඉඩ ලබා දීම ගැන පමණි. මෙය අපි තේරුම් ගත යුතුය. 

ඇතැම් අය සිතාගෙන ඉන්නේ ඉස්ලාම් දහම තුල කාන්තා නිදහස නැති බවයි. එහෙත් සත්‍යය නම් කාන්තාවන්ව මිනිසුන් ලෙස පිළිනොගත් යුගයක ඔවුන් වෙනුවෙන් පෙනී සිටි එකම ආගම ඉස්ලාම් ය. ඔවුන්ව ලිංගික වෙළඳාමේ විකිනිමත්, වහලුන් ලෙස විකිනිමත්, පණපිටින් වැළලීම තහනම් කිරීමත් සිදු කෙරුනේ අල් කුරානය පහළ වීමෙන් පසුවය. තවද කාන්තාවන්ට දෙපළ අයිතිය නොතිබුණු යුගයක ඔවුන්ට දෙපළ අයිතිය ලබා දුන්නේ කුරානය මගිනි. එපමනක් නොව ඉස්ලාම් දහමින් කාන්තාවන් සඳහා ප්‍රවේණිය උරුමය ලබා දී තිබේ. තවද, දෑවැද්ද වෙනුවට විවාහ වන අවස්ථාවේදී මනාලයා විසින් මනාලියට මහර් දීමනාව අනිවාර්ය කෙරුනේ අල් කුරානය මගින් ය. 

මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම බොහෝ අයගේ කතා බහට ලක් වන තවත් මාතෘකාවකි. ඇත්තෙන්ම එම ඇඳුම් ක්‍රමය නිසා මුස්ලිම් කාන්තවන් බොහෝ හිංසනයන්ගෙන් ආරක්ෂා වී තිබේ. මුස්ලිම් කාන්තාවගේ ඇඳුම නිසා එම කාන්තාවන්ට හිරිහැරයක් නැතත් වෙනත් අයට එය හිසරදයක් බවට පත්ව තිබෙනු දැකිය හැකිය. කාන්තාවන්ට කිසිම සම්බන්දයක් නැති කාර් ටයරයක් විකිනීමට පවා කාන්තාවන්ගේ අඩනිරුවත් රුපයක් යොදා ගන්නේය. එහෙත් ඉස්ලාමිය ඇඳුම් ක්‍රමය නිසා එවැනි දේවල් වලට ඉඩ ඇහිරී යන්නේය. තවද, ගෘහයේදී සිදුවන බොහෝ ලිංගික හිංසනයන්ට හේතුව ඉස්ලාම් පෙන්වා දෙන ඇඳුම් ක්‍රමය නොමැති වීමයි. 

මුස්ලිම්වරුන් ඌරු මස් නොකෑමත් හලාල් අහාර සොයා යෑමත් ඇතැම් අයට තිබෙන තවත් ප්‍රශ්නයකි. එහි පිටු පස තිබෙන්නේ සෞඛ්‍යමය ගැටළු බව බොහෝ අය දන්නේ නැත. ඇත්තෙන්ම ඉස්ලාම් දහම මිනිසාට පෙන්වා දෙන්නේ නිරෝගී ජිවිතකට මාර්ගය වේ. එය හොඳින් තේරුම් ගන්නේ නම් මෙම ප්‍රශ්නය ඉබේම විසඳා ගත හැකි වනු ඇත.

මුස්ලිම්වරුන් වෙනමම බැංකු ක්‍රමයක් පවත්වාගෙන යාමත් ඇතැම් අයට විශාල ප්‍රශ්නයකි. එහෙත් එසේ කිරීමට ප්‍රධාන හේතුව ඉස්ලාම් දහමින් පොලිය තහනම් කොට තිබීමයි. පොලිය තහනම් කොට තිබෙන්නේද ජනතාවගේ යහපත වෙනුවෙන් බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. බොහෝ අයට උන් හිටි තැන් පවා නැතිව ගොස් තිබෙන්නේ පොලිය නිසාය. මේ නිසා පොලිය වෙනුවට වෙනත් විකල්පයන් ඉස්ලාම් දහම පෙන්වා දෙන්නේය. 

ඇතැම් අයට ඉස්ලාම් මද්‍රසා නොහොත් ඉස්ලාම් ආගම උගන්වන පාසල් විශාල ප්‍රශ්නයක් වී තිබේ. ඒවායේ උගන්වන දේවල් ගැන ඔවුන් දන්නේ නම් එම ප්‍රශ්නය විසඳෙනු ඇත. බොහෝ මද්‍රසා පාසැල් වල අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇතුළුව කුරානය සහ නබිතුමාගේ හදිස අරාබි භාෂාවෙන් උගන්වනු ලැබේ. එවැනි පාසලක් නොතිබුනේ නම් ඉස්ලාම් දහම ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි ඔවුන් කල්පනා කල යුතුය. ඉස්ලාම් දහමේ පමණක් නොව අනෙක් ආගම් වලත් ඔවුන්ගේ ආගමට සම්බන්ද භාෂාවන් උගන්වනු ලැබේ. එහෙත් මුස්ලිම්වරුන්ගේ මද්‍රසා පාසල් වලට පමණක් එය ප්‍රශ්නයක් වීම කනගාටුවට කරුණකි. 

මෙම කරුණු ගැන නිවැරදිව තේරුම් ගන්නේ නම් සාමයට සහ සමගියට විශාල ශක්තියක් වනු ඇත. 


By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)