දරුවන් ඇති දැඩි කිරීමේදී දහමට මුල් තැන ලබා දිය යුත්තේ ඇයි? (Why should religion be given priority in raising children?)


ඉස්ලාම් දහමින් දරුවන් ඇති දැඩි කිරීම සම්බන්දයෙන් විශාල වගකීමක් දෙමව්පියන් හට පවරා තිබේ. එම වගකීම ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය. ලුක්මාන් තුමා තම දරුවන්ට දුන් උපදේශය අල් කුරානයේ මෙසේ දැක්වේ. "මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු කිරීම උග්‍ර පාපයක් වේ " (කුරානය 31:13). මෙම කුර්ආන් වැකිය අනුව නැමදීමේදී තවත් දෙයක් අල්ලාහ්ට සමාන කිරීම විශාල වරදකි. මේ නිසා ඉස්ලාම් දහම පෙන්වා නැති දේවල් වලට පමණ ඉක්මවා ගරු නොකළ යුතුය. කිතුනුවන් ජේසු තුමාට පමණ ඉක්මවා ගරු කිරීමේ ප්‍රතිපලයක් ලෙස එතුමාව දෙවත්වය දක්වා ඔසවා තැබුවෝය.  

අල්ලාහ්ට සමානයන් ඇති කිරීම විශාල පාපයක් වන අතර එය නොයෙකුත් අකාරයෙන් සිදු විය හැකිය. මේ නිසා එය මුලින් උපුටා දැමීම කෙරෙහි නබිතුමා අවධානය යොමු කළේය. ඒ අනුව නබිතුමාට ගරු කිරීම සඳහා ඔහු පැමිණි විට සිට ගැනීමෙන් සහාබා වරුන්ව වලක්වා ඇත. කිසිම සොහොනක් මත ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම තහනම් කළේය. එසේ තිබියදී ඇතැම් උදවිය තමන් ගරු කරන අයගේ සොහොන් මත ස්ථිර ඉදිකිරීම් සිදු කොට ඇත. තවද ඔවුන්ගෙන් ප්‍රර්ථනා කරති. ඔවුන්ගේ සොහොන් වලට ගොස් පහන් පත්තු කරති. සමහරු ඔවුන් වෙනුවෙන් පඬුරු දමති. එහෙත් ඉස්ලාම් දහම මෙවැනි ක්‍රියා තහනම් කොට තිබේ. මේවා සියල්ලම විශාල පාපයන් ය.

ඉස්ලාමිය විශ්වාසය අනුව විනිශ්චය දිනයේදී සෑම කෙනෙකුගෙන්ම තම වගකීම් ගැන ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ අනුව තම පවුලේ අය වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් ඉටු කිරීම ගැනද අවවාද කොට තිබේ. "විශ්වාසවන්තයිනි! නුඹලාවද නුඹලාගේ පව්ලේ උදවියද නිරයෙන් බේරා ගනු. එහි ඉන්දන මිනිසුන් සහ ගල් ය. එහි දැඩි සිතක් ඇති ශක්තිවන්ත දේවදුතයින් සිටිති. ඔවුන්, අල්ලාහ් තමන්ට අණ කළ දේවල් හැර වෙන කිසිවක් නොකරන්නෝය" (කුරානය 66:6). මේ නිසා දෙමව්පියන්ගේ මුලික වගකීම විය යුත්තේ තම දුවා දරුවන් හට නිසි ආගමික දැනුම ලබා දීමත් ආගමින් අනිවාර්ය කොට ඇති කරුණු ඉටු කිරීමට ඉගැන්වීමත් ය. 

නබිතුමාගේ මග පෙන්වීම පිළිපදිමින් දරුවන්ට නිසි කලට වෙලාවට සලාතය ඉටු කිරීමට පෙන්වා දිය යුතුය. තමනුත් එහි ස්ථිරව සිටිය යුතුය.  එසේම රමළාන් කාලයේදී උපවාස කිරීමට තම දරුවන් පුහුණු කල යුතුය. ඒවා නිසි පරිදි ඉටු නොකිරීමෙන් මෙලොවදී මෙන්ම පරලොවේදී දැඩි විපාක වලට මුහුණ පෑමට සිදු වේ. 

තම දුවා දරුවන්ට නබි තුමාගේ "සුන්නාවන්" පිළිබඳ දැනුම කුඩා කාලයේදීම පෙන්වා දිය යුතුය. දහමේ අත්තිවාරම කුඩා කාලයේදී හරි හැටි නොදැමුවේ නම්, දරුවන් වෙනත් අයගේ සංස්කෘතීන් වලට ගොදුරු විය හැකිය. මේ නිසා නින්දෙන් අවදිවීමේ පටන් නැවත නින්දට යන තුරු පිළිපැදිය යුතු නබිතුමාගේ සුන්නාවන් ගැන තම දුවා දරුවන්ට ඉගැන්වීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. එය අල්ලාහ්ගේ කරුණාවට කේතුවක් වේ. 

බොහෝ රජයේ පාසැල්වල ඉස්ලාම් දහම ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැත. එවැනි අවස්ථාවලදී ගමේ ඇති අහදියා පාසැල් වලින්  එම හිඩැස පිරවිය යුතුය. 

කුඩා කාලයේදීම අල්ලාහ් කෙරෙහි දැඩි විශ්වාසය සහ බිය බැතිකම වර්දනය වීමට සැලැස්වීමෙන් අල්ලාහ්ගේ ආරක්ෂාව හිමි කර ගත හැකිය. අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබුණු දරුවන් මත්කුඩු වලට හෝ වෙනත් වැරදි වලට හෝ යොමු වීමට තිබෙන අවස්ථා ඉතාමත්ම අඩු ය. ඔවුන් තනියම සිටියත් කණ්ඩායම් වශයෙන් සිටියත් දෙවියන් බලාගෙන සිටින බව හොඳින් දන්නේය. මේ හේතුවෙන් දෙවියන් කෙරෙහි බිය බැති කම නැති දරුවන්ට වඩා දෙවියන් කෙරෙහි බිය බැති කම ඇති දරුවන්ට දෙන අවවාද වඩා හොඳින් පල දරන්නේය. 
 
By Fasy Ajward. B.Sc (Phy.Sp) Hons. Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)

දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)

අල්ලාහ් කවුද? (Who is Allah?)