ඉස්ලාමයට අනුව දෙමාපියන් හට දරුවන්ගේ යුතුකම් (Children's duties to parents according to Islam)
ඉස්ලාම් දහම අනුව දරුවන් විසින් දෙමව්පියන් වෙනුවෙන් කල යුතු යුතුකම් රාශියක් තිබේ. කුඩා කාලයේ සිටම ඒවා ගැන දරුවන්ව දැනුවත් කිරීම දෙමව්පියන්ගේ වගකීමකි. එය කල හැක්කේ නිසි ආගමික අධ්‍යාපනයක් තුලින් පමණි. එම කාර්ය නිසි ලෙස ඉටු නොකළේ නම් එහි ප්‍රතිවිපාක විඳීමට සිදු වන්නේද දෙමව්පියන්ටම ය.
අල් කුරානය දෙමව්පියන් සම්බන්දයෙන් මෙසේ පවසා ඇත. “(නබියේ!) ඔබගේ දෙවියන් ඔහු හැර වෙන කිසිවෙකුට ඇදහිය නොයුතු යැයි අණ කර ඇත. තවද දෙමව්පියන් හට ස්තුතිවන්ත වන ලෙසටද අණ කරන්නේය. ඔවුන්ගෙන් කෙනෙකු හෝ නැතහොත් දෙදෙනාම මහළු වියට පත් වූ පසු ඔවුන්ව (වෙන්කර) පලවා නොහරිනු. ඔවුන්ට (නින්දා කොට) ‘චී’ යනුවෙන් (අවමන්) නොකරනු. ඔවුන්ට ගෞරවාන්විතව අමතනු. නුඹ එම දෙදෙනා වෙනුවෙන් කරුණාව සමග නිහතමානී කමේ පියාපත පහත් කරනු! (තවද) 'මාගේ දෙවියනි! බාල වියේදී එම දෙදෙනාම මාව රැකගත් අකාරයටම එම දෙදෙනාටම කරුණාව පහල කරනු මැනව'යි පවසනු!” (කුරානය 17:23,24).
මෙම කුරආන් වැකිය අනුව දෙමව්පියන් හට අගව්රව කිරීම විශාල වරදක් වේ. එසේ තිබියදී ඇතැම් දරුවන් දෙමව්පියන් වයසට ගිය පසු ඔවුන්ට නොහොබිනා අන්දමින් සැලකීම කොතරම් වරදක් දැයි ඔවුන්ම සිතා බැලිය යුතුය. ඇතැම් අය දෙමව්පියන් මොනතරම් කැපකිරීම් කලත් ඔවුන්ගෙන් සිදු වුනු සුළු වැරැද්දක් පවා උලුප්පා දක්වමින් ඔවුන්ගෙන් පලිගන්නේය. කුරානයට අනුව එසේ කිරීම විශාල පාපයකි. මෙවැනි වැරදි කරන අය මරණයෙන් පසු අල්ලාහ් ඉදිරියේ නවතා ප්‍රශ්න කරන විට ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි දැන්ම සිතා බැලිය යුතුය.
දෙමව්පියන් සම්බන්දයෙන් එක් සහාබිවරයෙක් නබිතුමාගෙන් මෙසේ විමසා ඇත: "නබිතුමාණෙනි! දෙමව්පියන් වෙනුවෙන් දරුවන්ගේ යුතුකම් මොනවාද? ඊට පිළිතුරු වශයෙන් "ඔවුන් ඔබගේ ස්වර්ගය හෝ නිරය වේ" යැයි පිළිතුරු දුන්නේය (ඉබ්නු මාජා). තවත් හදිසයක සඳහන් වන ආකාරයට දෙමව්පියන් කෙනෙකුගේ ස්වර්ගයට දොරටුව වේ. කැමති කෙනෙකුට එය ආරක්ෂා කල හැකිය. කැමති කෙනෙකුට එය විනාශ කර ගත හැකිය. තවත් හදිසයක සඳහන් වන්නේ ස්වර්ගය මවකගේ දෙපා මුල ඇති බවයි. තවද පියෙකුගේ සතුට අල්ලාහ්ගේ සතුට ට හේතුවක් වන බව නබිතුමා පැවසුවේය.
දරුවෙන් මෙලොවට බිහිවන්නේ දෙමව්පියන්ගේ විශාල කැප කිරීමක් නිසාය. සෑම මවක්ම ඇය පිළිසිඳ ගත් දා සිට කුසේ සිටින දරුවා දස මසකට පසු ඉතා අමාරුවෙන් මෙලොවට බිහි කරන්නීය. එම කාලය පුරා ඇය නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්නීය. දරුවා බිහි කල පසු ද ඇය හරි හැටි නින්දක් ලබන්නේ නැත. එපමනක් නොව වසර දෙකක් පුරා කිරි පොවා පෝෂණය කරන්නීය. මේ සෑම දෙයක්ම කරන්නේ තම දරුවා වෙනුවෙන් ය. එසේ කල දෙමව්පියන්ට කෘත ගුණ නොසලකා හැරීම ලොතරම් විශාල වරදක් ද?
දරුවන්ගේ ලෙඩට දුකට සහ අධ්‍යාපනය වෙනුවෙන් මව් පිය දෙදෙනාම විශාල කැප කිරීමක් කරන්නේය. මේ සෑම දෙයක්ම කරන්නේ විශාල බලාපොරොත්තු ඇතුව ය. එහෙත් කනගාටුවට කරුණ නම් දෙමව්පියන් මහලු වූ පසු බොහෝ අයට දෙමව්පියන් කල කැප කිරීම අමතක වීමයි. මේ හේතුවෙන් ඇතැම් දරුවන් තම දෙමව්පියන්ට කෘත ගුණ සැලකීම කෙසේ වෙතත් ඔවුන්ව මහලු මඩම් වලට යොමු කරන්නේය.
ඉස්ලාම් දහම අනුව දෙමව්පියන් හට සෑම විටම කීකරු විය යුතු වුවත් අල්ලාහ් හට සමානයන් තැබීමට ඔවුන් අණ කලේ නම් පමණක් ඊට පිටු පා හැකිය. ඒ බව මෙම කුර්ආන් වැකිය තුල සඳහන් වේ. “දෙමව්පියන්ට උදව් උපකාර කරන මෙන් අපි මිනිසුන් හට හොඳ ඔවදන් දුන්නෙමු. එහෙත් දෙවියන් හට වෙනත් දෙයක් සමාන කරන මෙන් (ඔවුන්) ඔබට බල කලේනම් ඔබ ඒ දෙදෙනාටම අවනත නොවනු! මා වෙතම ඔබ ආපසු පැමිණිය යුතුය. ඔබ කරමින් සිටි දේ පිලිබඳ ව එම අවස්ථාවේදී මා ඔබට දැනුම් දෙන්නෙමි” (අල්-කුර්ආන් 29:8).
ඉස්ලාම් දහම අනුව ජිහාදයට සහබාගි වී තම ජීවිතය අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කිරීම විශාල කුසල් ක්‍රියාවකි. එහෙත් ජිහාදයට සහභාගිවී අල්ලාහ් වෙනුවෙන් දිවි පිදීමට වඩා දෙමව්පියන්ට සැළකීම උතුම් ක්‍රියාවක් වේ.
එක් අවස්ථාවකදී පියාට බැනීම විශාල පවක් බව නබිතුමා සහාබා වරුන් සමග පැවසුවේය. එවිට සහාබා වරුන් පුදුමයට පත්ව කව්රුන් හෝ තම පියාට බනිවිදැයි විමසුවෝය. එවිට නබිතුමා පැවසුවේ කෙනෙක් වෙනත් කෙනෙකුගේ පියාට බැනීම නිසා ඔහු තම පියාට බැණුම ලබා දෙන බවයි.
දරුවන් ඇතිදැඩි කිරීමේදී දෙමව්පියන් හටද විශාල වගකීමක් පැවරෙන්නේය. එය නිසි ලෙස ඉටු නොවන්නේ නම් තමන් අස්වැද්දු දේවල් වල පල නෙලා ගැනීමට සිදු වන්නේය. මේ නිසා කුඩා කාලයේදී දරුවන්ට නිසි මග පෙන්වීම හරියාකාරව සිදු විය යුතුය. ඒ අනුව ලෞකික අධ්‍යාපනයට මෙන්ම ආගම කෙරෙහිද අවදානය යොමු කල යුතුය. එය නිසි ලෙස ඉටු නොවුයේ නම් දරුවන් නිසා දෙමව්පියන්ට නිරයට යාමට සිදු විය හැකිය. මෙම කුර්ආන් වැකියෙන් එය විස්තර කොට තිබේ. "විස්වාසවන්තයිනි! මිනිසුන්ද ගල්ද ඉන්දන බවට පත්කළ හැකි නිරයේ ගින්නෙන් ඔබ, ඔබවද ඔබගේ පව්ලේ අයවද බේරා ගනු. එහි දැඩි හැකියාවන් ඇති ශක්තිසම්පන්න මලායිකාවරුන් පත් කරනු ලැබ ඇත්තේය. අල්ලාහ් ඔවුන්ට දෙන නියෝගවලට ඔවුන් වෙනසක් නොකරන්නෝය. ඔවුන් තමන්ට දෙනු ලබන නියෝග (අකුරටම) ඉටු කරන්නෝය” (අල්-කුර්ආන් 66:6).
දෙමව්පියන් ජිත්ව සිටියේදී මෙන්ම ඔවුන් මිය ගිය පසුද ඔවුන් වෙනුවෙන් කල හැකි බොහෝ දේවල් තිබේ. ඒ අනුව ඔවුන් ජිවත්ව සිටියදී හජ් කිරීම සඳහා සුදුසුකම් ලබා තිබියදීත් එය ඉටු කිරීමට නොහැකිව මිය ගියේ නම් එම වගකීම ළමුන් විසින් සිදු කල හැකිය. උපවාසය සඳහාද එය වලංගු වේ. තවද දෙමව්පියන් මිය යාමට පෙර ලබාගෙන ඇති නය පියවීමට අවස්තාවක් ඔවුන්ට නොලැබී තිබුනේ නම් ඒවා පියවා දැමීම දරුවන්ගේ යුතුකමකි.
ඉහත කරුණු වලට අමතරව මියගිය දෙමව්පියන් වෙනුවෙන් දුආ ප්‍රර්ථනා කිරීම දරුවන්ගේ යුතුකමකි. මේ සම්බන්දයෙන් වන බොහෝ ප්‍රාර්ථනයක් කුරානයේ සඳහන් කොට ඇත.
දෙමව්පියන් වෙනුවෙන් පින් අනුමෝදම් කිරීමට හැකියාව ඇති අය වතුර නැති පලාතක ලිඳක් හරා දීම ප්‍රයෝජනවත් වේ. නැතහොත් මිය ගිය ඇත්තන් වෙනුවෙන් පුස්තකාලයකට පොත් පරිත්‍යාග කල හැකිය. එසේ කල විට ජනතාව ඉන් ප්‍රයෝජන ලබනතාක් මිය ගිය අයට කුසල් එකතු වේ.
By Fasy Ajward.B.Sc .(PhysicsSpecial) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
http://truepath1.blogspot.com/
Twitter:- thetrue_path
Comments
Post a Comment