අල් කුරානයට අනුව ජේසුතුමා කව්ද? (Who is Jesus according to the Quran?)
ප්‍රතිහාරයන් සිදු කිරීම නබිවරුන්ට ලබා දී ඇති වරමකි. ඒ අනුව අනෙක් නබිවරුන් මෙන්ම ජේසු තුමාද දෙවියන්ගේ උදව්වෙන් තොටිල්ලේ සිට කතා කළේය. උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දුන්නේය. ලාදුරු රෝගීන්ව සුවපත් කළේය. මැටිවලින් කුරුල්ලෙකුගේ රුවක් සාදා ඊට ප්‍රාණය ලබා දුන්නේය. එසේ කිරීමෙන් ඔහු අල්ලාහ්ගේ නියෝජිතයා බව පෙන්නුම් කළේය. කෙසේ වෙතත් කිසිම අවස්ථාවකදී ජේසු තුමා ඔහු දෙවියන් බවත් ඔහුට නමදින ලෙසත් පවසා නැත.
බෛබලයේ සඳහන් පරිදි ජේසු තුමාව කුරුසයේ තබා ඇන ගසන අවස්ථාවේදී ඔහු දෙවියන්ගෙන් අයාචනා කළේය. එසේම බෛබලයට අනුව කුරුසයේ තබා ඇන ගසන අවස්ථාවේදී ඔහු මෙසේ පවසා ඇත. "මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ මන්ද" (Matthew 27:46). මින් පැහැදිලි වන්නේ ඔහු තම මැවුම්කරු වන දෙවියන් ගැන විශ්වාස කල බවයි. ඔහු ගැන බයිබලයේ මෙසේ සඳහන් වේ. "ඉෂ්රායිල්වරුනි, අපගේ දෙවිඳුන් එක්කෙනෙකි" (ද්විතීය කථාව 6: 4). බයිබලයේ තවත් තැනක මෙසේ දැක්වේ. "ඉෂ්රායිල්වරුනි, අපේ දෙවි ස්වාමීන් වහන්සේට සවන් දෙන්න, ස්වාමීන් එක්කෙනෙක්ය" (මාක් 12:29). මේ හැරුණු විට බයිබලය තුල තවත් මෙවැනි වැකි සොයා ගත හැකිය. එසේ තිබියදී ජෙසුස්වහන්සේ දෙවි කෙනෙකු වන්නේ කෙසේද?
අල් කුරානයේ දැක්වෙන පරිදි දෙවියන් කිසිම මැවිමකට සමාන නොවේ. එසේම කිසිවෙකුගේ කුසින් ඔහු උපත ලබන්නේද නැත. ඒ අනුවද ජේසු තුමා දෙවිකෙනෙකු විය නොහැකිය. අල් කුරානයේ මෙසේ සඳහන් වේ. "නියතව අල්ලාහ්, මරියම්ගේ පුත් මසිහ්යැයි පවසන්නෝ ප්‍රතික්ෂේප කළවුන් වන්නෝය. එහෙත් මසිහ් පැවසුවේ 'ඉස්රායිල්ගේ දරුවනි! මාගේ සමිඳුන්ද ඔබගේ සමිඳුන්ද වූ අල්ලාහ්වම නමදින්න' යනුවෙනි. නියතව කවරෙක් අල්ලාහ්ට (යමක්) සමකරයිද අල්ලාහ්, ඔහුට ස්වර්ගය තහනම් කරන්නේය. ඔහුගේ නවාතැන නිරය වන්නේය! අපරාධකරුවන්ට උදව්කරුවන් නැත" (කුරානය 5:72).
ත්‍රිත්ව සංකල්පය බෛබලයේ දැකිය නොහැකි වුවත් කිතුනුවක් එය විශ්වාස කරන්නේය. එම සංකල්පය කුරානයෙන් මෙසේ ප්‍රතික්ෂේප කරන්නේය. "නියතව ප්‍රතික්ෂේප කරන්නන් 'අල්ලාහ් තුන්දෙනාගෙන් කෙනෙකි'යි පවසන්නෝය. එහෙත් නැමදීමට සුදුසු සමිදුන් අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. තමන් පවසන දෙයින් ඔවුන් ඉවත්ව නොසිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ට හිංසාව ඇතිකරන වේදනාව නියතය" (කුරානය 5:73).
ජේසු තුමා ගැන කුරානය මෙසේ පවසයි: " 'මරියම්ගේ පුත් මසීහ්' දුතයෙකු මිස අන් කිසිවෙකු නොවේ. ඔහුට පෙරද බොහෝ දුතයින් පැමිණ ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. ඔවුන් දෙදෙනාම ආහාර අනුභව කරන්නන් ම වුහ" (කුරානය 5:75)
ජේසු තුමාගේ මවගේ නමින්ම කුරානයේ ජේදයක් නම් කොට ඇත. එහි ජේසු තුමා ගැන බොහෝ දේවල් සඳහන් වේ. එහි දැක්වෙන පරිදි ජේසු තුමා මරියම් තුමියගේ කුසින් උපත ලබා ඇත. මරියම් තුමිය ඉම්රාන්තුමාගේ දියණිය වේ. එක් අවතාවකදී ඉම්රාන් තුමාගේ භාර්යාව ඇයගේ කුසේ සිටින දරුවා ජෙරුසලමේ පිහිටි ශුද්ධ දේවස්ථානයේ සේවට දීම සඳහා භාරයක් විය. එහෙත් ඇය ප්‍රසුත කළේ පිරිමි දරුවෙකු වෙනුවට ගැහැණු දරුවෙකි. කෙසේ වෙතත් එම දරුවාට මරියම් යන නම තබා දේවස්ථානයට භාර කළාය. එවකට එම දේවස්ථානයේ භාරකරුවා ලෙස ක්‍රියා කොට ඇත්තේ මරියම් තුමියගේ ඥාතියෙකු වන zසැකරියා තුමාය. එතුමා මරියම් තුමිය වෙනුවෙන් දේවස්ථානය තුල 'මිහ්රාබ්' නමැති කුටියක් සාදා දුන්නේය. එසේ තිබියදී පුදුමයට මෙන් ඉම්රාන් තුමා ඇයව බැලීමට ගිය සෑම අවස්ථාවකදීම ඇය පලතුරු අතැතිව සිටියාය. ඉන් විමතියට පත් zසැකරියා තුමා “මේවා ඔබට ලැබෙන්නේ කොහින්දැයි” විමසා ඇත. එවිට ඇය පැවසුවේ අල්ලාහ් තමන් කැමති අයට ප්‍රමාණය ඉක්මවා ආහාර ලබා දෙන බවයි.
කාලය ගෙවී යත්ම මරියම් තුමිය වැඩි වියට පත් වුවාය. දිනක් ඇය තම කුටියේ යාක්ඥාවේ යෙදී සිටින විට මිනිස් වෙස් ගත් දේවදුතයෙක් ඇය වෙත පැමිණියේය. ඔහුව දැකීමෙන් භීතියට පත්වූ ඇය, ‘සැබැවින්ම ඔබගෙන් මාව ආරක්ෂාකරන මෙන් අල්ලාහ්ගෙන් මා ප්‍රාර්ථනා කරමි, ඔබ හොඳ ගති පැවතුම් ඇත්තෙකු නම් (මෙතනින් ඉවත්ව යනු)’යි පැවසුවාය. එවිට එම දේවදුතයා ‘පාරිශුද්ධ වූ පුතෙකු ඔබට ලබා (දීම ගැන දැනුම්) දීම සඳහා මාව ඔබගේ දෙවියන් විසින් ඔබ වෙත එවන ලද දුතයෙක් වෙමි'යි පවසා ඇත. එවිට ඇය ‘මට කෙසේ නම් දරුවෙක් ලැබේවිද? කිසිම මිනිසෙකු මා ස්පර්ශ කර නැත! මම අපචාරයේ හැසිරෙන්නෙකු ද නොවෙමි!’යි පැවසුවාය. එවිට එම දේව දුතයා ‘එසේ (සිදුවනු ඇත). එය මට ඉතා ලෙහෙසි දෙයකි. ඇය මිනිසුන් අතරේ එක් සලකුණක් වශයෙන්ද අපගේ වරප්ප්‍රසාදයක් වශයෙන්ද පත් කරන්නෙමු. මෙය අවසාන වශයෙන් මනඃකල්පිත කරන ලද කාරනාවකි. ඔබගේ දෙවියන් කියන්නේහි යි’ පැවසුවේය. මෙම සිදුවීමෙන් පසු මරියම් තුමිය දෙවියන්ගේ නියමය පරිදි ගැබ් ගත්තාය.
මරියම් තුමිය ගැබ් ගත්තේ පියෙකු නොමැතිව ය. එබැවින් ඇය මහත් සේ සිත් තැවුලට පත්වුවාය. එසේ තිබියදී එක් දිනක් ඇය තමන් රැඳී සිටි දේවස්ථානයේ කුටියෙන් බැහැරව ඇයගේ උපන් ගම වන නසරිත් (Nazareth) වෙත පිටත්ව ගියාය. එසේ තිබියදී කාලය ගෙවී යත්ම දරු ප්‍රසුතියට දිනත් ලඟා විය. එම නිසා ඇය එම ස්ථානයෙන්ද පිටව ගියාය. එහෙත් වැඩි දුරක් යාමට මත්තෙන් ඇයගේ කුසේ සිටි දරුවා මෙලොවට බිහි විය. එවිට ජිබ්රිල් දෙවදුතයා පැමිණ “දුක් නොවනු, ඔබගේ දෙවියන් මෙතන දිය පාරක් ගලා යාමට සලස්වා ඇත, මෙම රට ඉඳි ගස සොලවනු, ඔබට ඉන් ඉදුණු රට ඉඳි වැටීමට සලස්වන්නෙමු"යි පවසා තිබේ. මැරී ගොස් තිබුණු එම රට ඉඳි ගස නැවත ජිවය ලැබීම දුටු ඇයගේ සිතට දේවියන් කෙරෙහි විශ්වාසය තව තවත් වැඩි විය.
මරියම් තුමිය තමන් බිහි කළ බිලිඳා ද රැගෙන ඇයගේ ගමට ගිය විට එහි වැසියන් එම දරුවා ගැන විමසන්නට පටන් ගෙන තිබේ. එහෙත් එහි සිටි සියලු දෙනාවම පුදුමයට පත් කරමින් එම ළදරුවා ඔවුන්ගේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දී තිබේ.
මෙම ජේසු බිළින්ඳා පසුව දෙවියන්ගේ ධර්ම දුතයෙකු විය. එහෙත් යුදෙව්වන් ඔහුගේ නබිත්වය පිළිගත්තේ නැත. මේ නිසා එතුමාට බොහෝ කරදරවලට මුහුණ පෑමට සිදු විය. කොතරම් දුරට ඔවුන් කෘර වුයේද කිවහොත් එතුමාව ඝාතනය කිරීමට පවා නියම කළෝය. කෙසේ වෙතත් අල්ලාහ් ඊට ඉඩ තැබුවේ නැත. ඒ අනුව ජෙසුතුමා වෙනුවට වෙනත් කෙනෙකු කුරුසයේ තබා ඇන ගැසීමට සලත්වා තිබේ. මේ බව කුරානයේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත.
"තවද "අල්ලාහ්ගේ රසුල් වන මරියම්ගේ පුත් ඊසා (හෙවත් මසීහු) නියත වශයෙන්ම අපි (කුරුසයෙහි තබා ඇණ ගසා) මරා දමුවෙමු"යි ඔවුන් කී බැවින්ද (ඔවුන්ට ශාප කළෙමු). (නමුත්) ඔහුව ඔවුන් කපා දැමුවේද නැත. ඔහුව ඔවුන් කුරුසයෙහි තබා ඇණ ගැසුවේද නැත. ( ඔහු සිටි කාමරයට ඔහුව සොයා ගිය කෙනෙකුව ඊසාගේ හැඩරුව ඇතිව වෙනස් කරන ලදී. ඊසා සොයා ගිය අනිත් අය ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවෝය) මේ නිසා ඔවුන්ව සැකයෙහි ඇතුල් කරන ලදී. එබැවින් මෙයට විරුද්ධව කව්රුන් අදහස් දරන්නෝ ද ඔවුන් අනවශ්‍ය සැකයෙහි ගිලී යන්නෝය. අනුමානය අනුගමනය කිරීම මිස එහි ඔවුන්ට සත්‍ය වූ ඥානයක් නැත්තේය. ඇත්තෙන්ම ඔවුන් ඔහුව ඝාතනය කලේම නැත" (කුරානය 4:157).
අල් කුරානයට අනුව ජේසු තුමාව අහසට ඔසවනු ලැබුවේය. එහෙත් ලෝකය අවසාන වීමට පෙර එතුමා නැවත වරක් මෙළොවට පැමිණීමට නියමිතය. එතුමාගේ පැමිණීමෙන් පසු ජජ්ජාල්ව ඝාතනය කිරීමට නියමිතය. ලෝකය අවසාන වන්නේ ඉන් පසුවය.
https://www.facebook.com/thetruepathofislam
Comments
Post a Comment