වසංගතයක් ඇති වූ විට ඉස්ලාමීය මඟ පෙන්වීම (Islamic guidance in the event of an epidemic)

ඉතිහාසයේ සිටම මිනිසා නොයෙකුත් වසංගත රෝග වලට ගොදුරු වී තිබේ. ඇතැම් අවස්ථාවලදී එම හේතුවෙන් දස දහස් ගණනින් මිය ගොස්ද තිබේ. මේ නිසා වසංගතයක් පැතිරෙන විට හුදකලා වීම සඳහා නබි තුමා විසින් සහාබා වරුන්ට උපදෙස් ලබා දී තිබේ. එසේ නොකලතොත් එම වසංගතය සෑම කෙනෙකු අතරම පැතිරී යා හැකි දැඩි අවදානමක් තිබේ. අද අප අතර ඇති කොවිඩ්-19 වසංගතය ඉක්මනින්ම මැඩ පැවැත්වීමට නම් සෑම විටම සෞඛ්‍ය නීති රීතින් පිළිපැදිය යුතුය. එසේ තිබියදී යම් කෙනෙකුගේ නොසැලකිල්ල නිසා එය තවත් අයට පතුරුවා හැරියේ නම් ඔහු කරන්නේ ඉස්ලාම් දහම අනුව විශාල පාපයකි. එය රටේ නිතිය අනුවද දඬුවම් ලැබිය යුතු වරදක් වන්නේය.  

අයිෂා රලි තුමිය නබිතුමාගේ හදිසයක් මෙසේ විස්තර කරයි: වසංගතය ගැන මම අල්ලාහ්ගේ දූතයානන්ගෙන් විමසුවෙමි. එවිට ඔහු කිවේ අල්ලාහ් තමන් කැමති අය වෙත දඬුවම් කිරීම සඳහාත් විශ්වාසවන්තයින්ට ඔහුගේ දයාවක් ලෙසත් එය යවන බවත්ය. තවද මෙම රෝගය පවතින නගරයක වෙසෙන කෙනෙක් ඉන් පිටතට නොයන ලෙසත් ඉන් පිටත සිටින කෙනෙක් එහි නොයන ලෙසත් ඔහු උපදෙස් දුන්නේය. අල්ලාහ් කෙරෙහි බලාපොරොත්තුවෙන් සහ විශ්වාසයෙන් කටයුතු කරමින්ද ඉවසීමෙන්ද අල්ලාහ් ලියා ඇති දේ හැර වෙන කිසිවක් සිදු නොවන බව විශ්වාස කරමින්ද සිටියේ නම් ඔහුට අල්ලාහ් වෙනුවෙන් දිවි පිදු ෂුහදා කෙනෙකුගේ තත්වය ලැබෙන බව ද එතුමා දැනුම් දුන්නේය (සහිහ් බුහාරි 8:616).

යමක් සිදු වීමට පෙර ඉන් ආරක්ෂා වීම අපගේ යුතුකමකි. ඉස්ලාම් දහම අපට උගන්වනු ලබන්නේද එයයි. එක්තරා අවස්ථාවකදී සහාබි වරයෙක් නබි තුමාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් එතුමා පවසා තිබෙන්නේ "ඔබගේ ඔටුවා බැඳ තබා අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්න" කියාය. ඉන් පැහැදිලි වන්නේ අපගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියළුම ක්‍රියා මාර්ග ගෙන ඉන් පසු අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි. ඒ අනුව මෙම වෛරසය වැළැක්වීම සඳහා වන එන්නත ලබා ගැනීමත් මුඛ ආවරණ පැළඳීමත් හැකි තරම් නිවසේ රැඳී සිටීමත් අනුගමනය කල යුතුය. එසේ තිබියදීත් යම් කෙනෙකුට එය වැළඳුනේ නම් එය අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදුවූ බව පිළිගත යුතු වන්නේය. 

උමර් රලි තුමා ඉස්ලාමයේ දෙවන කලීෆාය. ඔහු ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක් ද විය. එතුමාගේ ජිවිත කාලයේදී වසංගත රෝගයක් සිරියාවේ පැතිර ගොස් ඇත. ඒ බව නොදැන උමර් රලි තුමා සිරියාව බලා පිටත්ව ගොස් තිබේ. ඔහු එසේ යමින් සිටින අතර මගදී හමුදාවේ අණදෙන නිලධාරියෙක් වන අබු උබෙයිදා ඉබ්නු ජර්රා රලි තුමා සිරියාවේ වසංගතයක් පැතිරෙමින් තිබෙන බව උමර් රලි තුමා හට දැනුම් දී තිබේ. එම පුවත සැලවූ වහාම උමර් රලි තුමා ඔහුගේ ගමන එම ස්ථානයේදීම නතර කොට ඔහුත් සමග එම ගමන ගිය අනෙක් සහාබා වරුන් අමතා මෙසේ පවාසා ඇත. "මා හෙට උදෑසන ආපසු හැරී යන්නෙමි, ඔබලාත් එසේම කරනු" එවිට අබු උබෙයිදා රලි තුමා උමර් රලි තුමාගෙන් "ඔබ අල්ලාහ්ගේ නියමය දැක පලා යන්නේදැයි" ප්‍රශ්න කොට ඇත. ඔහු එසේ ප්‍රශ්න කොට ඇත්තේ ඔහුට උමර් රලි තුමා වැනි කෙනෙකුගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු නොවූ නිසාය. කෙසේ වෙතත් උමර් රලි තුමා ඔහුට මෙසේ පවසා ඇත. "ඔව්, අබු උබෙයිදා අපි අල්ලාහ්ගේ එක් නියෝගයකින් තවත් නියෝගයක් කරා පැන යන්නෙමු" (සහිහ් අල් බුහාරි 5397). 

ඉස්ලාම් දහමින් වසංගතයකදී පමණක් නොව නිරෝගී ජිවිතයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන බොහෝ උපදෙස් ලබා දී තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ දෛනිකව සිදු කල යුතු පංච කාල සලාතය ඉටු කිරීමට ප්‍රථමයෙන් වුළු හෙවත් මුහුණ, කට, නාසය, අත්පා ආදිය හොඳින් සෝදා ගැනීම අනිවාර්ය කොට තිබීමයි. එමගින් ශරීරයේ රැඳී ඇති බොහෝ විස බිජ සේදී යන්නේය. මෙය හරියාකාරව සිදු කරන්නේ නම් නිරෝගී ජිවිතයකට මග පෑදෙනු ඇත. 

අප සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන අතරම මෙම උවදුරින් මුළු ලොවම ගලවා දෙන මෙන් අල්ලාහ්ගෙන් සෑම සලාතයකින්ම පසු ප්‍රාර්ථනා කිරීමට අමතක නොකළ යුතුය. 


By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.













Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)