මරණයෙන් පසු ජිවිතය (Life after death)

බොහෝ අයට ඇත්තේ මරණයෙන් පසු ජීවිතය පිලිබඳ සැකයකි. ඒ අනුව ඔවුන් මෙසේ ප්‍රශ්න කරන බව කුරානය සඳහන් .කරයි. "මරණයට පත්වී, අප පස් ලෙසද, ඇටකටු ලෙසද, වූ පසු අපව ද අපගේ මුතුන්මිත්තන්වද නැවතත් නැගිටවනු ලබන්නෙමු දැයි අසන්නන් ලෙස මොවුහු සිටියහ" තවද ඔවුන් මෙසේ ද පවසන බව කුරානය මතක් කර දෙන්නේය. "අපගේ මෙලෝ ජීවිතය හැර වෙන කිසිවක් නොමැත. අපි මරණයට පත් වෙමු. අපි ජිවත් වෙමු. කාලයම මිස වෙන කිසිවක් අපව විනාශ නොකරන්නේය' ඔවුන්ට මේ ගැන කිසිම දැනුමක් නොමැත. ඔවුන් අනුමාන කරනවා පමණි" (කුරානය 45:24). 

කෙසේ වෙතත් කිසිවක් නොමැතිව තිබියදී මිනිසාව මුලින්ම මැවූ අල්ලාහ්ට මිය ගිය කෙනෙකුට නැවත පණ දී නැගිටවිම අමාරු කාරියක් නොවේ. ඒ අනුව ඔවුන් සඳහා කුරණයෙන් මෙසේ පිළිතුරු ලබා දී තිබේ. "නියත වශයෙන්ම පෙර සිටියවුන්ද, පසුව සිටියවුන්ද නියමිත දවසක නියමිත වේලාවකදී එක්රැස් කරවනු ලබන්නේ යැයි (නබි තුමනි) නුඹ (ඔවුනට) පවසනු".

වරුසාවකින් පසු වියලී ගිය පොළොව මත පැල හට ගන්නේ කෙසේදැයි සිතා බලන ලෙස කුරානය මතක් කර දෙන්නේය. "මළ ගිය පොළව ඔවුනට සාක්ෂියකි. අපි එය ප්‍රාණවත් කර, එයින් ධාන්‍යය ද පිට කළෙමු. ඔවුන් එයින්ම අනුභව කරති" (කුරානය 36:33).  මෙවැනි දෙයක් ඉබේ සිදු විය නොහැක. එසේ නම් එවැනි දෙයක් කල දෙවියන් මිනිසා මියගිය පසු ඔහුවද නැවත නැගිටවනු නියතය. 

මිනිසාට ලබා දී ඇති ඥානයෙන් බොහෝ නිර්මාණයන් සිදු කොට ඇත. ඒ අනුව මිනිසා කරන දේවල් ඒ අයුරින්ම CD තැටිවල ලියා තැබීමට හැකි වී තිබේ. එහෙත් මිට වසර 500කට පමණ පෙර ජීවත්වූ කෙනෙකුට මෙවැනි දෙයක් පැවසූ විට කිසිසේත්ම ඔහු එය විශ්වාස නොකරනු ඇත. එහෙත් එය අද සැබෑවක් වී තිබේ. එලෙසින්ම මිනිසාව මැවූ අල්ලාහ් ඔහු මෙලොවදී කරන ලද සෑම දෙයක්ම ඔහුගේම ශරීර අවයව වලින් ලබා ගන්නා බව මෙසේ සඳහන් කොට ඇත. "එම දිනයේදී අපි ඔවුන්ගේ මුඛයට මුද්‍රා තබන්නෙමු. එවිට ඔවුන්ගේ අත් අප සමග කතා කරනු ඇත. ඔවුන්ගේ පාදයන් ඔවුන් කරමින් සිටි දේවල් ගැන සාක්ෂි දරනු ඇත" (කුරානය 36:65). මෙය සෑම කෙනෙකු විසින්ම අත්විඳීමට නියමිතය. මෙම අවස්ථාවට සුදානම් නොවී මරණයෙන් පසු ජීවිතය විශ්වාස නොකළ අයට සිදුවන දේ ගැන මෙසේ විස්තර කොට ඇත. “නියතවශයෙන්ම කවරෙක් අපගේ වැකි ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව අපි නිරයේ දමා පුළුස්සමු. ඔවුන්ගේ සම පිළිස්සෙන සෑම අවස්ථාවකම අපි ඔවුනට අළුත් සමක් ලබා දෙමින් ඔවුන්ට වේදනාව දැනීමට සලස්වන්නෙමු” (කුරානය 4:56). මෙම තත්වයට මුහුණ දුන් පසු කිසිම වන්දියක් ගෙවීමෙන් ඉන් නිදහස් විය නොහැකි බව මෙසේ පවසා තිබේ. “නියතවශයෙන්ම, විශ්වාස නොකළවුන් සතුව මුළු ලොවේම ඇති වස්තුවත් එවැනිම තවත් ප්‍රමාණයක් තිබුනත් ඒවා වන්දි වශෙයන් භාර ගනු ලබන්නේ නැත. එහිදී ඔවුන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත” (කුරානය 5:36).

කෙසේ වෙතත් මරණයෙන් පසු ජිවිතය සඳහා සුදානම් වූ සියලුම දෙනාට ස්වර්ගය ලබා දෙන බව කුරානය තුල මෙසේ සඳහන් කොට ඇත. "කවරහු (අල්ලාහ්ගේ ඒකීයත්වය) විශ්වාස කර, යහකම් කරයිද, අපි ඔවුන්ව ස්වර්ගයේ උයන් වෙත ඇතුළු කරන්නෙමු. එහි පහලින් ගංගා ගලා බසින්නේය. ඔවුහු එහි සදාකාලිකව වාසය කරන්නෝය. අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යවේ. අල්ලාහ්ට වඩා සත්‍යවන්තයා කවරෙක්ද?" (කුරානය 4:122). තවත් තැනක මෙසේ දැක්වේ. "විශ්වාස කර යහකම් ද කළවුන් හට ස්වර්ගයේ උයන් ඇතැයි සුබාරංචි පවසනු! ඒවායෙහි පහලින් ගංගා ගලා බසින්නේය. ඔවුන්ට එහි ඇති පළතුරක් දෙනු ලැබූ සෑම විටකම: "මීට පෙරද අපට මෙයම දෙනු ලැබුවෙමු"යි පවසන්නෝය. (මක්නිසාද යත් ඒවා පෙනුමෙන්) එක සාමන නිසාය (එහෙත් රසයෙන් වෙනස්ය). ඔවුන්ට එහි පිවිතුරු සහකාරියෝද ලැබෙනු ඇත. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය" (කුරානය 2:25).

අනෙක් ජිවින්ට නැති බුද්ධියක් මිනිසාට ලබා දී තිබෙන්නේ ඉන් ප්‍රයෝජනයක් ගැනීම සඳහාය. ඒ අනුව මරණයෙන් පසු ජීවිතය සුළුවට තැකීම මුග්ධ කමකි. තවද මිනිසා වෙනුවෙන් දහම් පණිවිඩ ලබා දී තිබේ. එලෙස පැමිණි අවසාන දේව පණිවිඩය අල් කුරානයයි.  අල් කුරානය මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් යහ මාර්ගය පෙන්වා දීම සඳහා පහල කරන ලද්දකි. එබැවින් කුරානය හැදෑරීම සහ ඉන් පෙන්වා දෙන නිවැරදි දහම් මාර්ගය අනුගමනය කිරීම මිනිසාට පැවරෙන වගකීමකි. 

By Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)