ඉස්ලාමයට අනුව ආත්මය යනු කුමක්ද? (What is the soul according to Islam?)



ආත්මය ගැන ප්‍රශ්න කල අවස්ථාවේදී අල් කුරානය මෙලෙස පිළිතුරු ලබා දී ඇත. "ඔවුහු 'රූහ්' (ප්‍රාණය) ගැන ගැන නුඹගෙන් විමසති. එයට නුඹ, 'රූහ්' මාගේ සමිඳුන්ගේ අණ පරිදිම ඇතැයි පවසනු! (ඒ ගැන) සුළු දැනුමක් පමණක් නුබලාට දෙනු ලැබ ඇත" (කුරානය 17:85). තවද, මිනිසාව මුලින්ම මැවූ පසු අල්ලාහ් ආදම් තුමාගේ ශරීරය තුලට ආත්මය ඇතුලත් කළේය. "පසුව, ඔහුව නිසියාකාරව සකසා තම ප්‍රානයෙන් එහි පිම්බේය, තවද, නුඹලාට ශ්‍රවනයද ඉන්ද්‍රියද දෘෂ්ටියද, හදවතද ඇති කළේය" (කුරානය 32:9). මේ අනුව ආත්මය යනු අල්ලාහ්ගෙන් ලැබුණු දායාදයක් වේ. එහෙත් මිනිසාට ඇත්තේ ඒ ගැන ඉතා සුළු දැනුමක් පමණි. 

දොළොස් වන සියවසේදී ජීවත්වූ ඉස්ලාමිය ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන චරිතයක් වුද දාර්ශනිකයෙක් වුද දේවධර්මවාදීයෙක් වුද නීතිවේදියෙක් වුද ඉමාම් ගzස්සාලි තුමා පවසන්නේ මිනිසාගේ වැදගත්ම හරය ආත්මය නොහොත් සිත බවයි. ඔහු පවසන අන්දමට සිත යනු අධ්‍යාත්මික වස්තුවක් වන අතර එය ශරීරය තුල භෞතික සහ අධ්‍යාත්මික ක්‍රියාවන් මෙහෙය වන්නේය. මිනිස් සිතත් හදවතත් අතර සම්බන්දකමක් ඇති බැවින් ගzස්සාලි තුමා එය හදවත ලෙසද නම් කොට ඇත. ඔහු සිව් අකාරයකට මිනිස් සිත විස්තර කරන්නේය. ඒවා මෙසේය: කල්බ්, රූහ්, නෆ්ස් සහ අක්ල් යනුවෙනි.

අල් කුරානයේ දැක්වෙන පරිදි මිනිස් මනස සැනසුම ලබන්නේ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ය. කුරානයේ එය මෙසේ දැක්වේ. "අල්ලාහ්ව සිහි කිරීම තුලින් විශ්වාස කළවුන්ගේ සිත් සැනසුම ලබන්නේය. දැනගන්න! අල්ලාහ්ව සිහි කිරීම තුලින් සිත් සැනසුම ලබන්නේය" (කුරානය 13:28). මෙය තේරුම් නොගත් බොහෝ අය සැනසුම සොයන්නේ භෞතික දේවල් වලින් ය. එහෙත් ඔවුන් ඉන් නියම සැනසුම ලබන්නේ නැත. මේ නිසා ඇතැම් අය ඔවුන්ගේ ඉලක්කය අත්කර ගත් පසු සියදිවි හානි කර ගත් අවස්ථා එමටය. 

මිනිසුන් කරන වැරදි නිසා ඔවුන්ගේ හදවත් දැඩි වන්නේය. “ඉන් පසුවද ඔබගේ හදවත් දැඩිවිය. එය ගල් පර්වත මෙන් හෝ නැතහොත් ඊටත් වඩා දැඩි විය. (මන්දයත්) සමහර පර්වතවලින් උල්පත් ඇති වී සැමදා ජලය වැහෙන්නේය. තවත් සමහර පර්වත පැලී දෙබෑ වී එයින් ජල දහරා වැහෙන්නේය. ඉන් සමහරක් අල්ලාහ්ට බියෙන් පහලට ඇද හැලෙන්නේය. අල්ලාහ් ඔබ කරන දැය නොදන්නේ නොවේ” (කුරානය 2:74). 

මිනිසාට සත්‍යය පෙන්වා දුන් පසුත් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහුගේ හදවතට මුද්‍රා තබන බව කුරානය පසයි. “(අල්ලාහ්ගෙන්) තමන්ට පැමිණි කිසිම සාදකයක් නොමැතිව අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුනේ) තර්ක කිරීම අල්ලාහ් වෙතද විස්වාස කළ අය වෙතද ඉතාමත් පිළිකුල් සහගතය. මෙසේම ආඩම්බරය හා උඩඟුකම ඇති සෑම කෙනෙකුගේම හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබන්නේය (කුරානය 40:35). 

කෙනෙකුගේ වැරදි හේතුවෙන් ඔහුගේ හදවතෙහි මුද්‍රා තැබුවේ නම් ඉන් පසු ඔහුට නිවැරදි මාර්ගය පෙන්විය හැක්කේ කාටද? මිනිසා ඔහුගේ මරණයට පෙර මේවා ගැන සිතා බැලිය යුතු නොවේද? 

By Mohamed Fasy Ajward.
Twiter:- thetrue_path









Comments

Popular posts from this blog

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා (Hajj and Prophet Ibrahim)

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)