ඉස්ලාම් දහම තුල සැමියා සහ බිරිඳ අතර ඇති යුතුකම් (Duties between husband and wife in Islam)

 


ඉස්ලාම් දහම අඹු සැමියන් අතර ඇති අන්‍යෝන්‍ය බැඳීම ඉතා වැදගත් කොට සලකන්නේ ය. එය යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා අත්තිවාරම ද වේ. යම් විදියකින් පවුල් ජීවිතය දික්කසාදයකින් කෙළවර වුයේ නම් දරුවන් ඉතා දුක්ඛිත ඉරණමකට ගොදුරු වීමේ ඉඩ කඩ ඉතා වැඩිය. බොහෝ අවස්ථාවලදී දික්කසාදයකින් පසුව දරුවන් හට නිසි මව් සෙනෙහස ලැබෙන්නේ නැත. එසේ වූ විට එම දරුවන් වෙනත් මාර්ග වලින් තමන්ට අහිමිවූ ආදරය සහ සෙනෙහස ලබා ගැනීමට උත්සාහ කරන්නේය. එය ඉතා භයානක වන්නේ ඇතැම් විට ඔවුන් නරක පුරුදු ඇති උදවියගේ පහස ලබා ගැනීම නිසාය. මේ හේතුවෙන් ඇතැම් දරුවන් මත්කුඩු වලට පවා ඇබ්බැහි වීමේ ඉඩ කඩ තිබේ. 

කුරානය තම කලත්‍රයා ගැන මෙසේ පවසා ඇත. "ඔවුන් නුඹලාට වස්ත්‍රය ලෙසද, නුඹලා ඔවුන්ට වස්ත්‍රය ලෙසද සිටිහුය" (කුරානය 2:187). මේ නිසා අඹු සැමියන් ලෙස ජිවත් වීමේදී එකිනෙකා ගැන මනා අවබෝදයෙන් සිටීම ඉතා වැදගත් වේ. කුරානයේ තවත් තැනක මෙසේ පවසා ඇත. "නුඹලා බිරියන් හමුවෙහි සැනසුම ලැබීම පිණිස, ඔහු නුඹලාගෙන්ම නුඹලා වෙනුවෙන් ඔවුන්ව මවා තිබීමද, තවද ඔහු, නුඹලා අතර කරුණාවද ආදරයද ඇති කර තිබීමද ඔහුගේ සාක්ෂින්හි ඇති ඒවාය. නියත වශයෙන්ම කල්පනා කරන සමුහයාට මෙහි බොහෝ සාක්ෂින් ඇත" (කුරානය 30:21). මින් පෙන්වා දෙනු ලබන්නේ විවාහ ජීවිතය මගින් එකිනෙකාට සැනසීමක් ගෙන දෙන බවයි. 

කෙසේ වෙතත් විවාහ ජිවිතයෙන් උපරිම පල නෙලා ගැනීමට නම් විවාහ වන අවස්ථාවේදීම නිවැරදි තීරණ ගැනීමට වග බලාගත යුතුය. නබිතුමාගේ හදිසයකට අනුව කෙනෙක් හේතුන් හතරක් නිසා ස්ත්‍රියක් විවාහ කර ගන්නේය. ඒවා කුමක්ද යත් ස්ත්‍රියකගේ අලංකාරය, පවුලේ තත්වය, ධනවත්කම සහ ආගමික හැදියාව වේ. මේවා අතරින් ආගමික හැදියාවට මුල් තැන ලබා දීමෙන් යහපත් පවුල් ජිවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙන බව නබිතුමා පවසා ඇත. 

අල් කුරානයට අනුව ස්ත්‍රියක් සමග විවාහ වීමේදී ඇයගේ කැමැත්ත ලබාගෙන තිබිය යුතුය. එසේම ඔවුන් වෙනුවෙන් ලබා දිය යුතු "මහර්" දීමනාව අනිවාර්‍යයෙන්ම ලබා දිය යුතුය. තවද ඔවුන්ව විවාහ කර ගැනීමෙන් පසු හිංසා නොකළ යුතුය.

"ස්ත්‍රින්ව බලහත්කාරයෙන් අයිති කර ගැනීමට නුඹලාට අනුමැතියක් නොමැත. ඔවුන් ප්‍රසිද්ධියේ යම් නින්දාසහගත ක්‍රියාවක් කළේ නම් හැර ඔවුනට නුඹලා දුන් දැයින් සමහරක් පැහැර ගැනීම සඳහා ඔවුනට හිංසා නොකරනු. ඔවුන් සමග හොඳාකාරව ජිවත් වනු. නුඹලා ඔවුන්ව අප්‍රිය කළද (ඉවසා ගනු). මන්ද, නුඹලා යමක් අප්‍රිය කළද, අල්ලාහ් එහි අධික යහපත තැබීමට පිළිවන" (කුරානය 4:19). 

ෂරියා නීතිය අනුව විවාහ වීමෙන් පසු පවුලේ නඩත්තු කටයුතු සිදු කල යුත්තේ ස්වාමියා විසිනි. ඒ අනුව තම සහකාරියට කොපමණ මුදල් තිබුනත් ඒවා වියදම් කිරීමට ඇය නීතියෙන් බැඳී නැත. එහෙත් ඇයගේ කැමැත්තෙන් වියදම් කිරීම ගැන බාදාවක් නැත. 

කාන්තාවන්ට සහජයෙන්ම උරුම වූ ආවේනික ගති ලක්ෂණ තිබේ. එබැවින් ඒවා සම්පුර්ණයෙන්ම වෙනස් කිරීම පහසු නොවේ. එසේ කිරීමට යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වීමේ ඉඩ කඩ ඉතා වැඩිය. මේ නිසා නබි තුමා ඒ සම්බන්දයෙන් මෙසේ පවසා තිබේ. "කාන්තාවන්ව මවා තිබෙන්නේ ආදම් තුමාගේ ඉල ඇටයකින් ය. එබැවින් ඔවුන්ව සම්පුර්ණයෙන්ම කෙලින් කිරීමට යාම නිසා පවුල් ජීවිතය කැඩී යා හැකි ය" මේ නිසා තම සහකාරියන් සමග ඉතා ඥානාන්විතව ක්‍රියා කල යුතු ය. ආයිෂා රලි තුමිය නබිතුමාගේ හදිසයක් මෙසේ දැනුම් දෙන්නීය: "ඔබගෙන් හොඳම තැනැත්තා ඔබ අතරින් ඔබගේ පව්ලේ උදවියට හොඳම තැනැත්තාය. මම ඔබ අතරින් මගේ පව්ලේ අයට හොඳම තැනැත්තා වෙමි" (තිර්මිසි, ඉබ්නු මාජා). තවත් හදිසයක අබු මසුද් රලි තුමා මෙසේ පවසයි: "මුස්ලිම්වරයෙක් (අල්ලාහ්ගෙන්) කුලිය බලාගෙන තම පව්ලේ උදවිය සඳහා වියදම් කලේ නම් එය සදකා (charity) ලෙස සලකනු ලැබේ" (බුහාරි සහ මුස්ලිම්). සෞබාන් රලි තුමා නබිතුමා පැවසූ හදිසයක් මෙසේ සඳහන් කරයි: "මිනිසෙක් වියදම් කරන හොඳම දිනාරය තම පව්ලේ උදවියට කරන දිනාරය වේ. ඉන්පසු අල්ලාහ්ගේ නාමයෙන් ඔහුගේ සතුන් වෙනුවෙන් කරනු ලබන දිනාරය වේ, ඉන් පසු අල්ලාහ්ගේ නාමයෙන් ඔහුගේ සහකාරයින් වෙනුවෙන් කරන දිනාරය වේ" (මුස්ලිම්). (දිනාරය යනු නබිතුමාගේ කාලයේදී භාවිතා කල මුදල් වේ). 


By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

 





Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)