නබිවරුන් යනු කවුද? (Who are the Prophets?)


නබිවරුන් යනු දහම දෙසීම සඳහා මිනිසුන් අතරින් තෝරා පත් කරනු ලැබූ අල්ලාහ්ගේ නියෝජිතවරුන් වේ. ඔවුන්ට දෙවියන් සමග ඉතා කිට්ටු සම්බන්දතාවයක් තිබේ. එහෙත් ඔවුන් සිය කැමැත්ත අනුව දහම දේශනා කරන්නේ නැත. ඒ අනුව ඔවුන් දේශනා කළේ දෙවියන්ගෙන් ලැබුණු දේ පමණි. නබිවරුන්ට තීක්ෂණ බුද්ධියක් තිබේ. ඔවුන්ට දෙවියන්ගේ උදව්ව ඇතිව ප්‍රාතිහාරයන් දැක්විය හැකිය. නබිවරුන් මිනිසුන්ව රැවටීමට ලක් කරන්නේ නැත. එබැවින් ඔවුන් කෙරෙහි පුර්ණ විශ්වාසය තැබිය හැකිය. ආගම ප්‍රචාරය කිරීම නබිවරුන්ට අනිවාර්ය වේ. සෑම නබිවරයෙකුම දේශනා කලේ එකම දහම් පණිවිඩය වන ඉස්ලාම් ය. 

සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණියත් ඔවුන්ගෙන් විසි පස් දෙනෙකුගේ නම් පමණක් කුරානයේ සඳහන් වේ. මෙලොවට පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබි තුමාය. ජේසු තුමා නැවතත් මෙළොවට පැමිණීමට නියමිතය.

කිසිම නබිවරයෙකු රජකම වෙනුවෙන් හෝ වස්තුව රැස්කිරීම වෙනුවෙන් හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් හෝ උත්සාහ කළේ නැත. ඔවුන්ගේ එකම අරමුණ වුයේ මිනිසාව මිනිසාගේ මැවුම්කරු වෙත හැරවීමයි. එහෙත් මිනිසුන්ගෙන් ඊට බොහෝ විරෝධතා එල්ල විය. ඒ අනුව ඇතැම් නබිවරුන්ව ඝාතනය කොට තිබේ. ඇතැම් නබිවරුන්ව ඔවුන්ගේ උපන් බිමින් නෙරපා හැර තිබේ. එසේ තිබියදීත් ඔවුන් සිය රාජකාරිය පැහැර හැරියේ නැත.

නුහ් නබිතුමාගේ කාලයේ විසු ජනතාවට දීර්ඝ ආයුකාලයක් තිබ් ඇත. මේ නිසා නුහ් නබිතුමා වසර නවසිය පනහක්ම ජනතාව අතරට ගොස් දහම දේශනා කොට තිබේ. එහෙත් එම වසර 950 දී ඔහුගේ ඇරයුම පිළිගෙන තිබෙන්නේ සියයකටත් අඩු පිරිසකි. ඇතැම් අවස්ථාවලදී එම ජනතාව නුහ් නබි තුමාට බලවත් ලෙස හිංසා කොට තිබේ. එම ජනතාවට තවදුරටත් ඇරයුම් කිරීම නිෂ්පල බව තේරුම් ගිය නුහ් නබි තුමා ඔවුන්ට එරෙහිව ප්‍රාර්ථනා කොට තිබේ. එම ප්‍රාර්ථනාව පිළිගත් දෙවිඳුන් මහා ජල ගැල්මකින් ඔවුන් සියලු දෙනාම විනාශයට පත් කළේය. 

ජේසු තුමා ද ජනතාව අල්ලාහ් වෙත අරාධනා කිරීම සඳහා බොහෝ ප්‍රාතිහාරයන් සිදු කොට තිබේ. වරෙක ඔහු මලවුන් නැගිටවා තිබේ. තවත් අවස්ථාවකදී ලාදුරු රෝගීන්ව සුවපත් කොට තිබේ. තවත් අවස්ථාවකදී උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී තිබේ. මෙතරම් දෙයක් සිදු කොට තිබියදීත් යුදෙව්වන් ජේසු තුමාගේ නබිත්වය පිළිගත්තේ නැත. ඔවුන් අදටත් එය පිළිගන්නේ නැත. මේ හේතුවෙන් ඔවුන් අල්ලාහ්ගේ කෝපයට පත් විය. යුදෙව්වන් විසින් ජේසු තුමාව කුරුසයේ ගැසීමට සුදානම් වීමේදී එතුමාව අහසට ඔසවා ගත් බව කුරානයේ සඳහන් වේ. 

මුහම්මද් නබි තුමාද බොහෝ ප්‍රාතිහාරයන් සිදු කොට තිබේ. සඳ දෙකට පැලිමත්, මිහ්රාජ් ගමනත් ඉන් ප්‍රධාන වේ. ඒ හැරුණු විට අල් කුරානය අදටත් ප්‍රාතිහාරයකි. තවද මුහම්මද් නබි තුමාගේ පැමිණීම ගැන කිතුනු සහ යුදෙව් ආගම් පොත්වල සඳහන් කොට තිබේ. එසේ තිබියදීත් යුදෙව්වන් සහ කිතුනුවන් මුහම්මද් නබිතුමාව අල්ලාහ්ගේ නබිවරයා බව පිලිගන්නේ නැත. මේ නිසා කිතුනුවන් නොමග ගිය අය බව කුරානයේ සඳහන් වේ. 

මුහම්මද් නබිතුමාට පෙර පැමිණි සෑම නබිවරයෙකුම යම් කිසි එක් ජන කණ්ඩායමකට හෝ යම් භූගෝලීය කලාපයකට පමණක් යවනු ලැබිය. එහෙත් මුහම්මද් නබිතුමා ලෝකවාසී සියළුම ජනතාව වෙනුවෙන් පහළ වූ නබිවරයෙක් බව කුරානයේ සඳහන් වේ. “(නබියේ!) අපි ඔබව ලෝකවාසී සියල්ලෝටම කරුණාව දැක්වීමට ඒවා ඇත” (කුරානය 21:107). කුරානයේ තවත් තැනක මෙසේ දැකිය හැකිය. “(නබියේ!) අපි ඔබව සකල ලෝකවාසීන්ටම සුභාරංචි දෙන්නෙකු වශයෙන් ද අනතුරු හඟවන්නෙකු වශයෙන්ද ඒවා ඇත්තෙමු. එහෙත් මිනිසුන්ගෙන් වැඩිදෙනෙකු මෙය දැන ගන්නේ නැත” (කුරානය 34:28). කුරානයේ තවත් තැනක මුහම්මද් නබිතුමා ගැන මෙසේ සඳහන් වේ. “අල්ලාහ්වද අවසාන දිනයද ස්ථිරව විස්වාස කරන්නවුන්ට සරිලන අලංකාර වූ පුර්ව ආදර්ශයක් නියත වශයෙන්ම ඔබට අල්ලාහ්ගේ රසුල් වෙතම ඇත්තේය” (කුරානය 33:21). 

දෙවියන් එවන ලද නබිවරුන්ව විශ්වාස කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය වේ. මේ නිසා මුස්ලිම්වරුන් කිතුනුවන් වෙනුවෙන් එවන ලද ජේසු තුමාවද, යුදෙව්වන් වෙනුවෙන් එවන ලද මුසා නබි තුමා ද ඇතුළු සෑම නබිවරයෙකු ගැනම විශ්වාස කරන්නේය. මිනිසාට නිවැරදි මාර්ගය දැන ගත හැක්කේ ඔවුන්ගේ මාර්ගයෙන් පමණි. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path





Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)