ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් කේතය (Islamic Dress Code)


සත්ව ලෝකය තුල ඇඳුම් අඳින්නේ මිනිසා පමණි. එහි ප්‍රධාන අරමුණ වන්නේ තම නිරුවත වසා ගැනීමයි. ඒ අතරම ඉන් ආරක්ෂාව සහ ශරීරයට අලංකාරය ද ගෙන දෙන්නේය. එහෙත් ඉස්ලාම් දහම අලංකාරයට වඩා ආරක්ෂාව ගැන වැඩි බරක් තබා තිබේ. මේ හේතුවෙන් මුස්ලිම් පිරිමියෙකු වේවා නැතහොත් කාන්තාවක් වේවා ඇදුමක් ඇඳීමේදී ෂරියා නීතියෙන් ලබා දී තිබෙන සීමාවන් තුල ඔවුන්ගේ ඇඳුම සකස්කර ගත යුතුව තිබේ. මේ හේතුවෙන් මුස්ලිම්වරුන්ටම ආවේනික ඇඳුම් ක්‍රමයක් සැකසී තිබේ. තවද මුස්ලිම්වරුන්ව හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ එම ඇඳුම උපකාරී වේ. 

ඉස්ලාමිය ඇඳුම් ක්‍රමය නිසා මුස්ලිම් කාන්තාවන්ට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලැබෙන්නේය. තවද එය කුරානයෙන් ලබා දී තිබෙන නියෝගයක් බැවින් සෑම මුස්ලිම්වරයෙකුම එය අනුගමනය කිරීම අනිවාර්ය වේ. 

අල් කුරානය ඇඳුම සම්බන්දයෙන් මෙම නියෝගය ලබා දී තිබේ. "ඕ; නබි තුමනි! නුඹගේ බිරියන්ටද, නුඹගේ දුදරුවන්ටද, විශ්වාසවන්තයින්ගේ ස්ත්‍රීන්ටද තමන්ගේ හිස් ආවරණය තමන් කෙරෙහි එල්ලෙමින් තිබෙන සේ සකසාගන්නා ලෙසට ඔවුන්ට පවසනු. ඔවුන් ගැන දැනගැනීම පිණිසද, රිදීම් ඇති නොකර සිටීම පිණිසද මෙය ඉතා සමීප දෙයක් වේ" (කුරානය 33:59).

ඉස්ලාමීය ඇනුම් ක්‍රමය නිසා බොහෝ වැරදි වලට දොරවල් වැසී යන්නේය. මුස්ලිම් වරුන් අතර කාන්තා හිංසනය අවම වීමට ඔවුන්ගේ ඇඳුම් විලාශය හේතුවකි. මෙවැනි ඇඳුම් ක්‍රමයක් නොමැති සමාජ වල බොහෝ කාන්තා හිංසනයන් නිරන්තරයෙන්ම ඇසීමට ලැබෙන්නේය. 

ඉස්ලාම් දහම සෑම විටම වැරැද්දක් සිදු වීමට පෙර එය වැළැක්වීම සඳහා කටයුතු කර ඇත. මේ නිසා සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් අල් කුරානය පහත දැක්වෙන නියෝගයන් ලබා දී තිබේ. 

"(නබියේ!) විස්වාසකරන ගැහැනුන්ට ඔබ මෙසේ කියනු. ඔවුන්ද තම බැල්ම පහත හෙලා තමන්ගේ පතිවතද ආරක්‍ෂා කරනු. (තවද තමන්ගේ දේහය සාමාන්‍යයෙන්) පිටතට පෙනෙන තැන් මිස තමන්ගේ අලංකාරයද (ඇඳුම්, ආභරණ වැනි) අලංකාරයද පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස්-වැස්මෙන් ලපැත්තද වසා ගනු. ගැහැණු තමන්ගේ ස්වාමිපුරුෂයන්, තමන්ගේ පියවරු, තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයන්, තමන්ගේ සහෝදරයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, තමන්ගේ ගැහැනුන් හෝ තමන්ගේ වහලුන් හෝ තමන්ගේ වහලුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුන්ට) සමීපව ජිවත්වන (මහලු) පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝද නොකරගත් කුඩා ළමුන් යනාදීන් හම්වෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (බුමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙයින් යම්කිසි වැරැද්දක් සිදුවුවහොත්) ඔබ සියලුදෙනාම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ්ගෙන්ම සමාව ඉල්ලා (ඔබගේ සිත්) අල්ලාහ් දෙසට හරවනු" (කුරානය 24:31).

බොහෝ කාන්තා හිංසනයන්ට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිස් ඇස ගැටෙන කාමුක දර්ශන වේ. මේ නිසා මුස්ලිම්වරුන්ට කුරානයෙන් මෙම නියෝගය ලබා දෙන්නේය. "ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, (නබි) නුඹ විශ්වාසවන්ත වූ පිරිමින්ට පවසනු! මෙය ඔවුන්ට වඩාත් පිරිසිදු වේ. නියතව ඔවුන් කරන දේ ගැන අල්ලාහ් හොඳින් දන්නේය" (කුරානය 24:30).

මුස්ලිම්වරුන්ගේ පරමාර්ථය ලෞකික ජීවිතයේදී තම ආශාවන් සපුරා ගැනීම නොවේ. එබැවින් ඔවුන් මරණයෙන් පසු ජීවිතය ජය ගැනීම සඳහා අවශ්‍ය මාර්ගය තෝරා ගත යුතුව ඇත. එය කල හැකි වන්නේ දෙවියන් පෙන්වා දී ඇති රාමුව තුල ජිවත් වීමෙන් පමණි. මේ නිසා විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් තම අලංකාරය පිටස්තර අයට නොපෙනෙන ලෙස වසා ගැනීමට ස්වෙජ්ජාවෙන්ම පුරුදු වී සිටිති. එය ඇතැම් අය දකින්නේ කාන්තා හිංසනයක් ලෙසය. එහෙත් එහි කිසිම සත්‍යතාවයක් නැත. ඇත්ත වශයෙන්ම මුස්ලිම්වරුන් ජිවත් වන්නේ අල්පෙක්ෂ ලෞකික ජීවිතය වෙනුවට නිමක් නැති ස්වර්ගය අත්කර ගැනීමේ අභිලාශය ඇතිවය. 

ඉස්ලාමිය විද්වතුන් පෙන්වා දෙන අන්දමට මුස්ලිම් කාන්තාවන් අන්‍යය පිරිමින් ඉදිරියේදී සම්පුර්ණ ශරීරයම වසා ගැනීම අනිවාර්ය වේ. එහෙත් මුහුණ වැසීම සම්බන්දයෙන් ඉස්ලාමිය විද්වතුන් අතර ඇතැම් මත බේද දැකිය හැකිය. කෙසේ වෙතත් ඇතැම් කාන්තාවන් ඔවුන්ගේ මුහුණ වසා ගන්නේ ඔවුන් දෙවියන් කෙරෙහි තබා ඇති බක්තියේ තරම නිසාය. 

මුස්ලිම් කාන්තාවන්ට මෙන්ම මුස්ලිම් පිරිමින් සඳහාද ඇඳුම් ඇඳීමේදී ඇතැම් නීති තිබේ. ඒ අනුව මුස්ලිම් පිරිමින් ඇඳුම් ඇඳිය යුත්තේ වළලු කරට වඩා ඉහලින් ය. තවද ඔවුන්ගේ ඇඳුම් ද කාන්තාවන්ට මෙන්ම බුරුලට තිබිය යුතුය. මේ හේතුවෙන් ශරීරයේ හැඩය කැපී පෙනෙන තරමට තද ඇඳුම් ඇඳීම මුස්ලිම් කාන්තවන්ට මෙන්ම පිරිමින් හට තහනම් වේ. 

සමස්තයක් ලෙස ගත්කල ඉස්ලාම් දහමින් කාන්තා රුපය වෙළඳ භාණ්ඩයක් ලෙස බාවිතා කිරීම කිසිසේත්ම අනුමත කරන්නේ නැත. එම හේතුවෙන් වෙළඳ දැන්වීම් සඳහා ඔවුන්ගේ අඩනිරුවත් රූප රාමු යොදා ගැනීම ෂරියා නීතියෙන් අනුමත කරන්නේ නැත. 


By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)