දෙවියන් වෙනුවට ස්වභාවධර්මය ආදේශ කළ හැකිද? (Can nature replace God?)



ස්වභාවධර්මය පිළිබඳ බොහෝ දෙනෙකුට තිබෙන්නේ වැරදි වැටහීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ස්වභාවධර්මය දිව්‍යමය ලෙස සලකති. එම විශ්වාසයට අනුව විශ්වය නිර්මාණය වූයේ ස්වභාවධර්මය නිසාය. එහෙත් සොබාව දහම යනු ජීවමාන මැවුම් කරුවෙක් නොවේ. එය හුදෙක් අර්ථ දැක්වීමක් පමණි. එබැවින් එම විශ්වාසය මනඃකල්පිත එකක් ලෙස බැහැර කල යුතු ය.

සෑම ප්‍රධාන ආගමකම දැක්වෙන්නේ විශ්වය සර්වබලධාරී දෙවියන්ගේ මැවීමක් බවයි. එම දෙවියන් ජීවමානය, ඥානාන්විත ය, නැති දෙයකින් අලුත් දෙයක් මවන්නාය. ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහු සදාකාලිකය, ඔහුට කිසිවෙකුගේ උදව් උපකාර අවශ්‍ය නොවේ. ඔහු ස්වයංව පවතින්නේය.

ආගමික විශ්වාසයන්ට අනුව සොබාව දහම යනු විශ්වය ක්‍රියාත්මක කිරීම සඳහා දෙවියන් විසින් පනවා ඇති නියෝගයන් ලෙස විස්තර කල හැකිය. දෙවියන් පනවා ඇති එම නියෝග ක්‍රියාත්මක වීම නිසා විශ්වය පවතින්නේය. උදාහරණයක් ලෙස සෞරග්‍රහ මණ්ඩල එකිනෙකට ඝට්ඨනය නොවී ඒවාට නියමිත ගමන් මාර්ගවල සැරිසරන්නේ දෙවියන් ඒවාට ලබා දී ඇති නියෝග නිසාය. පරමාණුවක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රොන ගමන් කරන්නේ දෙවියන් ඒවාට ලබා දී ඇති නියෝගය නිසාය. එසේම පරමාණුවක න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන සහ න්‍යුට්‍රොන එකට බැඳී පවතින්නේ දෙවියන්ගේ නියෝගය නිසාය. පස මත දමන ලද බීජයකින් පැලයක් හට ගන්නේ දෙවියන්ගේ නියෝගය නිසාය. චුම්බක ක්ෂේස්ත්‍රයක් තුල සන්නායකයක් චලනය කල විට විදුලිය නිපදෙන්නේ දෙවියන්ගේ නියෝගය නිසාය. ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වීමෙන් දරුවෙකු බිහිවන්නේ දෙවියන්ගේ නියමය නිසාය. මෙවැනි ඕනෑතරම් උදාහරණ ගෙන හැර දැක්විය හැකිය. දෙවියන් විශ්වය මැවීමෙන් පසු මෙවැනි නියෝග ලබා දී නොතිබුනේ නම් ඉහත සඳහන් කල කිසිම දෙයක් සිදු නොවනු ඇත. එවිට ස්වහාවධර්මය යැයි කීමට දෙයක් නොතිබෙන්නේය. 

ජීවය දෙවියන්ගේ තවත් එක් මැවීමකි. එහි ස්වභාවය පුදුමාකාර ය. එය කිසිවෙකුට දැකිය නොහැක. එහෙත් එය ශරීරය තුල පවතින්නේය. එවැනි දෙයක් කෙසේ නම් ස්වභාවදහම අනුව ඇති විය හැකිද? විද්‍යාව මෙතරම් විශාල දියුණුවක් ලබා තිබියදීත් විද්‍යාඥයින්ට පවා 'ජිවය' නිපදවීමට හැකිවී නැත. එහෙත් ජේසු තුමා දෙවියන්ගේ අනුමැතියෙන් මිය ගිය අයට නැවත ජිවය ලබා දී තිබේ. ඉන් පෙනී යන්නේ ජිවය ස්වභාවදහම අනුව ඇතිවූ දෙයක් නොවන බවත් දෙවියන්ගේ නියෝගයක් බවත් ය. 

සුර්යාගෙන් පැමිණෙන අහිතකර විද්‍යුත් චුමක කිරණ වලින් මිහිතලය මත සිටින ජීවින් ආරක්ෂා කිරීම සඳහා පෘථිවිය වටා අයන ගෝලයක් සථාපනය කොට තිබේ. එවැනි ඥානාන්විත ක්‍රියාවක් දෙවියන්ට මිස වෙන කිසිවෙකුට කල නොහැකිය. මෙවැනි ඉතා ඥානාන්විත දෙයක් කෙසේ නම් සොබා දහමට බැර කරන්නේද? 

පෘථිවියේ ඇති විවිධාකාර ශාක හා වර්ණවත් පිහාටු සහිත පක්ෂීන් ස්වභාවධර්මයා විසින් බිහි කරන්නේ නම් එය ඥානාන්විත දෙවි කෙනෙකු නොවේද? ඉන් නොනැවතී එම ජිවින්ට සුදුසු අහාර පාන ස්වභාව ධර්මයා විසින් මැවිය හැකිද? එවැනි දෙයක් ඉබේ සිදු වීමට හැකි නම් වඳුරෙක් යතුරු ලියනයකට තට්ටුකරමින් සිටින විට ශබ්ද කෝෂ ඇතුළු විවිධ ග්‍රන්ථ ජනනය විය යුතුය. එහෙත් එවැනි දෙයක් සිදු වීම සිහිනයක් ම පමණි.  

දෙවියන් පෘථිවිය මත නොයෙකුත් වර්ගයේ ගස් කොලන් මවා තිබේ. ඒවා එකිනෙකට වෙනස් ය. ඒවායේ විවිධ මල් හටගන්නේය. ඒවායින් නොයෙකුත් රසයෙන් ගුණයෙන් යුතු පලතුරු හට ගන්නේය. මේවා සොබාව දහමේ ක්‍රියාවන් නම් ස්වහාව දහම ඥානාන්විත දෙවිකෙනෙක් විය යුතු නොවේද?

පෘථිවියේ ස්ථායිතාව රැකෙන පරිදි කඳු ඇති කොට තබේ. මෙම කඳු වලින් ගංගා ඇලදොළ ගලා බසින්නේය. ඇතැම් අය දකින්නේ එය සොබා දහම නිසා සිදු වන බවයි. එහෙත් අර්ථ දැක්වීමකට සිමා වන  ස්වභාව දහමින් එවැනි දෙයක් සිදු විය හැකිද?

ජීවයේ පැවැත්ම සඳහා දෙවියන් නොයෙකුත් අහාර දාමයන් සකස් කොට තිබේ. එවැනි දෙයක් කිසිසේත්ම ඉබේ සිදු විය නොහැකිය. එපමණක් නොව ලෝකය අලංකාර කිරීම සඳහා නොයෙකුත් වර්ගයේ සතා සිව්පාවුන් සහ පක්ෂීන් මවා තිබේ. මේවා සියල්ලම ස්වභාව දහමේ ප්‍රතිපල වන්නේ කෙසේද?

දෙවියන් පහළ කොට ඇති සෑම දහම් පනිවිදයකින්ම පවසන්නේ විශ්වය සහ එහි ඇති සියලුම දේවල් දෙවියන්ගේ මැවීම් බවයි. දෙවියන් පහළ කරන ලද අවසාන දහම් පණිවිඩය කුරානය වේ. එහි මෙසේ දැක්වේ. "ඔහුම නුඹලාට අහසින් ජලය (වරුසාව) පහළ කළේය; එම ජලය පානය කිරීමටද ශාක වැවීමටද (එම ශාක) නුඹලාගේ  සතුන්ට කෑම සඳහාද (නුඹලා) යවන්නේය. එමගින් ඔහු භෝගද, ඔලිව්ද, ඉඳි ගස්ද, මිදිද තවත් පලතුරු වර්ගද නුඹලා වෙනුවෙන් රෝපණය වීමට සලස්වයි. නියත වශයෙන්ම මෙහි කල්පනා කරන සමුහයාට ශාක්ෂින් ඇත. ඔහු රාත්‍රිය සහ දවාලද, සුර්යයාව සහ චන්ද්‍රයාවද වසඟ කර දුන්නේය; තාරකාවන්ද ඔහුගේ අණට යටත් වූ ඒවාය. නියතව මෙහි අවබෝද කරගන්නා සමුහයාට බොහෝ සාක්ෂින් ඇත. නුඹලා වෙනුවෙන් පොළොවෙහි මැවූ විවිධ වර්ණවලින් යුක්ත සෑම දෙයකම උපදෙස් ලබන සමුහයාට සාක්ෂින් ඇත. ඔහු නුඹලාට මුහුදෙහි ඇති අලුත්ම මාංශ ආහාරයට ගැනීම පිණිසද, නුඹලාට පැළඳිය හැකි ආභරණ ගැනීම පිණිසද මුහුද වසඟ කර දුන්නේය. තවද, එහි ජලය පලාගෙන යන නැව් නුම දකින්නේහිය. නුඹලා (එම නැව් වලින් බඩු ප්‍රවාහනය කිරීම මගින්) ඔහුගේ දායාදය ලබා ගෙන තුති කිරීම පිණිසද (මේවා වසඟ කර දුන්නේය). තවද ඔහු, පොලොව නුම්බලව පෙරලා නොදැමීම පිණිස එහි කඳු ඇති කළේය, නුඹලාට (දවල් කාලයේදී) මං දැනගැනීම පිණිස ගංගා ද නොයෙකුත් මාර්ගද (ඇති කළේය). තවද, නොයෙක් සලකුණුද (ඇති කළේය). ඔවුහු තාරකා මගින් (රාත්‍රියේදී) මඟ දැනගනිති "(කුරානය 16:11-16). මෙම කුර්ආන් වැකිය අනුව විශ්වය තුල සිදුවන සියලුම දේවල් අල්ලාහ්ගේ නියෝග වේ. එහෙත් මිත්‍යා දෘෂ්ටිකයින්ගේ මතය වනුයේ සොබා දහමින් විශ්වය ඇති වූ බවයි. 

අල් කුරානයට අනුව මිනිසා දෙවියන්ගේ මිහිපිට නියෝජිතයාය. මිනිසාට පැවරී ඇති කාර්ය භාරය වන්නේ දෙවියන් ගැන නිවැරදිව දැනගෙන ඔහුට පමණක් නැමදීම වේ. එහෙත් මිනිසුන්ගෙන් බොහෝ අය ජිවිතයේ පරමාර්ථය හරි හැටි තේරුම් ගැනීමට උත්සාහයක් ගන්නේ නැත. මිනිසා කුමන මතයක් දරමින් ජිවත් වුවත් අවසානයේදී මරණය වැළඳ ගන්නේය. ඉන් පසු සෑම කෙනෙක්ම දෙවියන්ගේ විනිශ්චයට මුහුණ දිය යුතු ය. ඊට සුදානම් නොවූ අයගේ තත්වය කුමක් විය හැකිද?

By Fasy Ajward B.Sc(Special.Physics)Hons,Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twitter:-thetrue_path



Comments

Popular posts from this blog

මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)

දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)

අල්ලාහ් කවුද? (Who is Allah?)